කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට .

බත්තරමුල්ල , පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවතුනු නිවසක නාන තටාකයේ තිබී වැල්ලම්පිටියේ පදිංචිව සිටි 49 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ  බිරිද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහි ප්‍රධාන සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බිරිද 23 හැවිරිදි අයෙකු  බව අනාවරණය වී ඇත.මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය 27 හැවිරිදි පුද්ගලයා විසින් සිදු කර ඇති බවයි.

සැකකරු සහ මිය ගිය ව්‍යාපාරිකයා සමාජ මාධ්‍ය මිතුරු ජාලයක් හරහා හදුනා ගෙන ඇති අතර මොවුන් පළමු වරට හමු වී ඇත්තේ පසුගිය 30 වනදා වන දා බව වාර්තා වී ඇත . මොවුන් හමුවීමට වෙනත් ස්ථානයක් කතිකා කර ගත්තද පසුව පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවසේදීම හමු වූ බව කියයි. සැකකරු ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම එම නිවසට පැමිණ ඇති අතර එහිදී සැකකරු ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක්  ඉල්ලා ඇත. එහිදී එතරම් මුදලක් ව්‍යාපාරිකයා සතුව නොමැති බව පැවසුවත් එහිදී ඇති වුනු බහින් බස් වීම දුර දිග යාම නිසා සැකකරු ව්‍යාපාරිකයාට මුගුරකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

ව්‍යාපාරිකයා ජිවිතක්ෂයට පත් වූ පසුව ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් සහ මුදල් පසුම්බිය රැගෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම පිටව ගොස් ඇති බව වාර්තා වේ. එම බැංකු කාඩ්පත් භාවිතා කර ඉන්දුනීසියාව වෙත යාම සදහා ගුවන් ටිකට්පත් 2ක් මිලදී ගෙන ඇති අතර එම අවස්ථාවේදීම වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නැවත මෝටර් රථයෙන් පැමිණ ඇති බව වාර්තා වේ. ආපසු පැමිණ නිවසක් මිලදී ගැනීම සදහා ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පතින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇතුළුව රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලබා ගෙන ඇති බව කොලඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිද අද (6) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කරයි.

Exit mobile version