රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු වේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කර තිබුනේ, පාකිස්තානයේ ලාහෝර් නුවර සිට තුවා ලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් පාර්සල් 08ක් ලෙස සකස් කර මෙම හෙරොයින් ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබු බවයි.
“ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සහ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ශ්‍රී ලංකා රේගු කාර්යාල නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මුලධර්ම පාවිච්චි කරලා, සැකපිට පාකිස්තානයේ ලාහෝර් නගරයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ආනයනය කරන ලද භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත්තා. මෙම භාණ්ඩ තොගයේ පාර්සල් 8ක් තිබුණා. ඒ් පාර්සල් රේගුවට දැනුම්දී තිබුණේ ‘තුවා’ ලෙසයි. නමුත් ඒ තුළ තිබී විෂ මත්ද්‍රව්‍ය ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 10.5ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කළා.”
මෙම හෙරොයින් තොගය ඉකුත් 10 වන දා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණු අතර හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණු බව රේගුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් භාණ්ඩ නිදහස් කරගැනීමට පැමිණි පුද්ගලයා සහ නිෂ්කාශන නියෝජිතවරු දෙදෙනෙක් සැකපිට රේගු අත්අඩංගුවට පත්ව තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.