ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කන්දකුලිය වෙරළ තීරයේ සගවා තිබූ රුපියල් කෝටි 4 ක් පමණ වන බීඩි කොළ තොගයක් අද (3) අලුයම විජය නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් කන්දකුලිය වෙරළ තීරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සොයා ගත් බව වාර්තා වේ.
මෙම බීඩි කොළ තොගය ජලයෙන් ආරක්ෂා කර ගැනීමට ඒවා පොලිතින් බෑග් වල අසුරා තිබී ඇති අතර කිසිවෙකුට සැක නොසිතන අයුරින් බීඩි කොළ ප්‍රවාහනය කිරීම සදහා ටිපර් රථයක් යොදා ගැනීමේ සූදානමක් තිබූ බව සදහන් කරයි.
මෙම ටිපර් රථයද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පළා ගොස් ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ටිපර් රථය ඉදිරි විමර්ශන කටයුතු සදහා කල්පිටිය පොලීසියට භාර දී ඇති අතර සැකකරුවන් සොයා නාවික හමුදාව සහ කල්පිටිය පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇති බව කියයි.