කෝප් කමිටුවට අමතක වුණු සමහර ගනුදෙනු. කෝප් එකත් සුදු අලියෙක්ද?

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය පළුදු වී ඇත. එම බලකණු තුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෑතකදී පලකළ අදහස් ආන්දෝලනාත්මකය. පාර්ලිමේන්තුව තුළ විධායකය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ, හිටපු අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය මෙන්ම ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මහත් ප්‍රශ්න සහගත තත්ත්වයක් උදාවී ඇත. එවැනි තත්ත්වයක් යටතේ මූල්‍ය වගකීම දරන පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමේ වරදක් නැත. යම් අඩුපාඩුවක් නැතහොත් අතපසුවීමක් සිදුවී තිබේ නම් එම තත්ත්වයන් නිවැරැදී කරගත හැක.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය වහාම යොමුවිය යුතු බරපතළ හෙළිදරව්වක් 2023 ඔක්තෝම්බර් 31 දින පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක නොදැනුවත්වම සඳහන් කර තිබිණි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රජයේ මූල්‍ය විනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලවම වගකිව යුතුය. විගණකාධිපතිවරයා/විගණන කොමිසම සමඟ පාර්ලිමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක වූවානම් 17 වැනි වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටීමට ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැත. විගණකාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ පාර්ලිමේන්තු කාරක සභා නිසි පරිදි ක්‍රියාත්මක වී ස්ථිර කරගන්නා තොරතුරු මත නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය ක්‍රියාත්මක වූවානම් අද රට අසරණ නැත. රටේ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන්ම හෙළිදරව් කළ කාරණාවක් උදාහරණයක් ලෙස ගෙන වර්තමාන තත්ත්වය විග්‍රහ කරමු.

ඔක්තෝම්බර් 31 දින පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූලය සංස්ථා බැංකුව (HDFC) අවසන් වරට කෝප් කමිටුවට කැඳවා තිබුණේ 2014 නොවැම්බර් මාසයේ 4 වැනි දිනය. එනම් එජාප – ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙර මාස දෙකකට පමණ බවයි. මෙම බැංකුවේ කොටස් වැඩි ප්‍රමාණයක් රජය සතුවී තිබියදීත් වසර නමයක් (යහපාලන සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ) කෝප් කමිටුව මෙම ආයතනය විමර්ශනයට භාජනය නොකිරීම විමතියට හේතුවකි.

බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආයතනයකට වසර නමයක් කෝප් කමිටුව මග හැර සිටිය හැකිද? නැතහොත් එම ආයතනය විමර්ශනයට ලක් නොකිරීමේ වරද කෝප් කමිටුව භාරගත යුතුද? යහපාලන ආණ්ඩු කාලය තුළ කෝප් කමිටුවේ සභාපති එවකට ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විය. ඊට පසුව එම ධුරය මහාචාර්ය චරිත හේරත්ට හිමිවිය. ඊට පසුව එම ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාරට හිමිවිය.

නොවැම්බර් 2014 න් පසුව නැවතත් HDFC බැංකුව පාර්ලිමේන්තුව කැඳවන්නේ මහාචාර්ය බණ්ඩාර කෝප් කමිටුවේ සභාපති ධුරය දරන අවස්ථාවකදීය. ඒ 2023 ඔක්තෝම්බර් අවසන් සතියේදී 2020 සහ 2021 එම ආයතනය සම්බන්ධයෙන් නිකුත් කළ විගණකාධිපති වාර්තා පිළිබඳව විමසීමට කැඳවූ අවස්ථාවේදීය. හිටපු මන්ත්‍රී හඳුන්නෙත්ති සහ දැනටත් කෝප් කමිටුව නියෝජනය කරන මහාචාර්ය හේරත් තමන් යටතේ තිබූ එම කමිටුව HDFC බැංකුව පාර්ලිමේන්තුව ඉදිරියට වසර 9 ක කාලයක් තුළ කැඳවීමට නොහැකි වූ හේතුව සොයා බැලිය යුතු නොවේද? වසර ගණනාවක් තිස්සේ මෙම බැංකුව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවලට කෝප් කමිටුව අවධානය යොමු නොකළ බව අමුතුවෙන් කිවයුතු නැත. එම කාලය තුළ කථානායක ධුරය දැරූ කරු ජයසූරිය සහ වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධන ද පාර්ලිමේන්තුවේ යම් අතපසුවීමක් සිදුවූ බව පිළිගත යුතුය.

රාජ්‍ය අංශයේ ඉහවහ ගිය දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා පාලනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තම වගකීම ඉටු නොකළ කළ එක අවස්ථාවක් ලෙස කෝප් කමිටු වසර නමයක් HDFC බැංකුවට අවධානය නොකිරීම පෙන්වා දිය හැකිය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොළොත් බව පිළිගන්නා තුරුම පාර්ලිමේන්තුව තම ප්‍රධාන වගකීම් දෙක පැහැරහැරිය බව අවධාරණය කළ යුතුය. එම වගකීම් දෙක මූල්‍ය පරිපාලනය සහ නව නීති සම්පාදනයයි. පාර්ලිමේන්තුව තම වගකීම ඉටු කළා නම් රට බංකොළොත් නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත.

නව නීති සම්පදනය කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව 2017 ජුලි 25 දින දී ක්‍රියාත්මක කළ නව විනිමය පනත මගින් 1953 සිට ක්‍රියාත්මක වූ විදේශ විනිමය පාලන පනත ඉවත් කර අපනයනකරුවන් රට තුළට නියමිත කාලයක් තුළ ගෙන ඒමට බැඳී සිටි විදේශ ප්‍රේෂණ ආර්ථිකයට අහිමි කළේය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ එවකට යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහය. මැති ඇමැතිවරු 94 දෙනකු එම පනතට පක්ෂ වී ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18 පමණි. ඉතිරි මන්ත්‍රීවරු 113 තම ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ සිටියේ නැත. අදටත් බංකොළොත් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය පනත ක්‍රියාත්මකය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් සැදුම්ලත් කෝප් කමිටුවට සාමාජිකයන් 31 අයත්වේ. නමුත් රැස්වීමට අවශ්‍ය ඝණපූර්ණය හතරකි. මෙම කමිටුව නියෝජනය කළ කිසිදු මන්ත්‍රීවරයකුට HDFC බැංකුව මතක් නොවීම පුදුමයකි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම් දෙක කෙසේ හෝ බලය ලබා ගැනීමට උත්සහ කරන අතර කුඩා පක්ෂ ඕනෑම කැපකිරීමක් කර ආසනයක් දෙකක් දිනා ගැනීමට උත්සහ කරයි. වර්තමාන පාර්ලිමේන්තුව පක්ෂ 15 නියෝජනය කරන අතර එම පක්ෂ අතරින් නමයකට හිමි එක ආසනයක් බැගිනි. ආසන දෙකක් බැගින් හිමි පක්ෂ දෙකක් ඇති අතර ආසන තුනක් හිමි එක පක්ෂයකි. ඉතිරි ආසන පක්ෂ තුනක් අතරේ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (145), සමගි ජන බලවේගය (54) සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට (10) අතරේ බෙදී ගොස් ඇත. නමුත් අවසානයට සඳහන් කළ පක්ෂ තුනම 2023 වනවිට කැඩී බිඳී ගොස් ඇත. මෙවැනි පාර්ලිමේන්තුවක් අසාර්ථකය. එලෙසම දූෂණයට තෝතැන්නකි. HDFC බැංකුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිඹිඹු කරන්නේ සමස්ත ක්‍රමයේ බිඳ වැටීමයි. වසර නමයකට පසුව HDFC බැංකුව කෝප් කමිටුව ඉදිරියට කැඳවීම ඇත්ත වශයෙන්ම සන්තෝෂයට හේතුවකි. කෝප් කමිටුවට නිසි ගෞරවය හිමිවිය යුතුය.

රු. ලක්ෂ 690 ක පාඩුවක් HDFC බැංකුව පසුගිය මාසයේදී කෝප් කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන්වූ එම බැංකුව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතරේ දශකයකට පෙර සිදුවූ ගනුදෙනුව අවධාරණය කළේ රාජ්‍ය අංශය එළිපිටම බරපතළ අක්‍රමිකතාවල යෙදෙන බවත් කවුරු බලයේ සිටියත් එම ක්‍රියාවලට ආණ්ඩුවේ ආරක්ෂාව ලැබෙන බවත්ය.

HDFC බැංකුව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර සිදුවූ ගනුදෙනුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය එම ආයතන දෙකට පමණක් අදාළ නොවේ. එම ගනුදෙනුව අවධාරණය කරන්නේ සමස්ත දූෂිත ක්‍රියාවලියයි. කෝප් කමිටුව පළමුවෙන්ම අවධාරණය කළේ HDFC බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය ප්‍රශ්නසහගත බවයි. මෙතුවක් කල් ව්‍යාපාරික ආකෘතියට අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුරුද? මුදල් අමාත්‍යාංශය සහ මහා බැංකුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ද? HDFC බැංකුව සම්බන්ධයෙන් කෝප් කමිටුව ගනු ලබන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම සියලුම දේශපාලන පක්ෂවල වගකීමයි.

කෝප් කමිටුව හෙළිදරව් කර ඇති ආකාරයට HDFC බැංකුව රුපියල් ලක්ෂ 690 ක් නැතහොත් මිලියන 69 ක් පාඩුවක් ලබා ඇත්තේ එම බැංකුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ පුද්ගලයකු අතරමැදියකු ලෙස ක්‍රියා කර ලංකා විදුලි බල මණ්ඩලයට ස්ථාවර තැන්පතුවක් සඳහා එවකට නියමිත පොලී අනුපාතයට වඩා ඉතා වැඩි ගෙවීමක් කිරීමට කටයුතු කිරීමෙනි. මෙම ගනුදෙනුවට තැරව්කරුවකු ලෙස සම්බන්ධවූ පුද්ගලයාට බැංකුව ගනු ලැබූ එකම ක්‍රියාමාර්ගය වන ‘අවවාදාත්මක’ ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුව ප්‍රශ්න කළේය.

මාසයක් ඇතුළත මෙම අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කෝප් කමිටුව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. නීති හදන පාර්ලිමේන්තුව මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ලජ්ජා විය යුතුය. මීට පෙර කෝප් කමිටුවේ නායකත්වය දැරූ මහචාර්ය චරිත හේරත් ද මෙම අවස්ථාවට සහභාගිවීම විශේෂත්වයකි.HDFC බැංකුව සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමර්ශනයේදී බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට යහපාලන සමයේදී (2018 ජුලි 18 දින) ලබා දුන් රුපියල් මිලියන 350 ක ණයක් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා විය. එම ණය ලබා ගැනීමට ඇපකරුවන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර කෝප් කමිටුව HDFC බැංකුවෙන් සති තුනක් ඇතුළත මෙම ගනුදෙනුව පිළිබඳව වාර්තාවක් ඉල්ලා සිටියේය. බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම සහ HDFC ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අවධාරණය කළ කෝප් කමිටුව ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවද ප්‍රකාශ කළේය.

මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි. රට බංකොළොත් වීම දඩමීමා කරගෙන සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් දරාගත නොහැකි බදු බරක් පටවා ඇති වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව බරපතළ දූෂණ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු නොවේද? HDFC – ලංකා විදුලි බල මණ්ඩලය අතර ගනුදෙනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාර්ලිමේන්තු ක්‍රමය හරහා හෙළිදරව් වී ඇති දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් කිසිදු ආණ්ඩුවක් අනුගමනය කළේ නැත. එසේ කළානම් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරී වන අමාත්‍යාංශ ලේකම්වරු බොහෝ දෙනකුට සිරබත් කෑමට සිදුවනු නොඅනුමානය.

කෝප් කමිටුව බිම්පුත් ආයතනය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 31 වන දින නිකුත් කළ නිවේදනය සලකා බැලිය යුතු වන්නේ මහා බැංකුව ඊට දින කීපයකට පෙර එම ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 01 වන දින සිට තහනම් කර ඇති බව ප්‍රකාශ කිරීමද ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරමිනි. කුමන නීතිය යටතේ මෙවැනි ආයතන තහනම් කළත් අවසානයේ බංකොළොත් ශ්‍රී ලංකාවට බරපතළ වන්දියක් ගෙවීමට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙවැනි අවස්ථාවකදී මෙවැනි ‘ගනුදෙනු’ වලට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් මහා බැංකුව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කළ යුතුය.

රට බංකොළොත් වී ඇති බවට නිල වශයෙන් පිළිගෙන වසරකටත් වැඩි කාලයක් ඉක්ම ගියාට පසුව වත් සමස්ත මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිසියාකාර වැඩපිළිවෙළක් නොමැතිවීම අපරාධයකි. දූෂණ, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා මහා බැංකුව, පාර්ලිමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිසිය අතර නිසි ක්‍රමවේදයක් තවමත් නොමැති බව පැහැදිළිය. ඊට දිය හැකි හොඳ උදාහරණයක් වන්නේ HDFC බැංකුවට රු. ලක්ෂ 690 පාඩු කළ ගනුදෙනුව සම්බන්ධයෙන් 2014 නොවැම්බර් – 2023 ඔක්තෝම්බර් කාලය තුළ අවශ්‍ය මැදිහත්වීම කිරීමට කෝප් කමිටුව අසමත් වීමයි. එසේ වීමට හේතුව වර්තමාන කෝප් නායකත්වය සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය කඩා වැටීමට ප්‍රධානතම හේතුව යම් දූෂිත ක්‍රියාවක් බරපතළ වන තරමට එම චෝදනාවට ලක්වන පාර්ශ්වයට හිමිවෙන දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2020 සිට ඉල්ලා අස්කර ගනු ලැබූ නඩු පිළිබඳව විමසීමක් කළහොත් මහජන මුදලින් මෙම ආයතනය නඩත්තු කිරීම අපරාධයක් බවට ජනතාවට හැඟෙනු ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ප්‍රකාශ කර ඇත. අධිකරණ අමාත්‍යවරයා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශ්වාස නැතිනම් සමස්ත විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව බලවත් කුකුසක් ඇතිවේ. එසේ වීම පුදුමයට කාරණාවක් ද නොවේ.

සැබෑ දූෂණ විරෝධී ප්‍රතිපත්තියක අවශ්‍යතාව

කවුරු කුමක් කෙලෙස කීවත් කිසිදු ආණ්ඩුවකට දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා නැතිකිරීමට ක්‍රමවේදයක් නැත. අවශ්‍යතාවයක්ද නැත. දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා නැතිකිරීමට ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් නැත. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නොතිබීම සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන ණය වාරිකය තාවකාලිකව නවතා වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව මූල්‍ය විනය ඇතිකිරීමට රජය ගැන කරුණු 16 කින් යුතු යෝජනාවලිය අවධාරණය කර ඇත්තේ සමස්ත මූල්‍ය පාරිදුෂ්‍යභාවය සම්බන්ධයෙන් රාජ්‍ය/පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව එම ණය දෙන ආයතනයට විශ්වාසයක් නැති බව නොවේද?

භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 7 වන දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු විය යුතුය. එවැනි ප්‍රකාශයක් මීට පෙර කිසිදු අමාත්‍යවරයකු කර නැත. එම ප්‍රකාශය අතිශය ආන්දෝලණාත්මකය. විගණකාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව නොසලකා වර්තමාන දේශපාලන අධිකාරිය දිගින් දිගටම ක්‍රියාකිරීම අමාත්‍යවරයා අවධාරණය කළේ වර්තමාන නීතිපති (ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්) සහ මෑතකදී හතරවන සේවා දිගුව හිමිවූ පොලිස්පති (සී. ඩී. වික්‍රමරත්න) තම ව්‍යවස්ථාපිත වගකීම නොසලකා හැරීම අවධාරණය කරමිනි. තමන් දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට පත්කළ අන්තර්වාර කොමිටිය වහාම විසුරුවා හැරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝගයක් දුන් බවට ක්‍රීඩා අමාත්‍යවරයා කළ හෙළිදරව්ව පාර්ලිමේන්තුවට නොසලකා හැරීමට නොහැකිය. නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව මත ක්‍රියා නොකරන බව කළ චෝදනාව ශ්‍රී ලංකාව දූෂණයට වැට බඳින බවට කරන ප්‍රකාශය පුස්සක් කර ඇත.

පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් වන දූෂණ, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය වහාම ක්‍රියාත්මක වන දේශපාලන වාතාවරණයක් රට තුළ ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට දේශපාලන හයිය තිබේනම් රට නිවැරදි මාර්ගයකට ගෙන ඒමට තවමත් අවස්ථාව ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු.(දිවයින)

Exit mobile version