පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර අද (06) ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබූ බව වාර්තා වේ.
ඒ, කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තුව වන රක්ෂිතය අනවසරයෙන් හෙළිපෙහෙලි කරන බවට ලැබුණු තොරතුරක් ගැන විමසා බැලීම සඳහා ගිය අවස්ථාවේදීය.
ඒ අනුව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබුණි.
කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි.
එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය.
එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවුණි.
එහිදී ගම්වාසීන්ගෙන් එම පිරිසට පහරදීමක් සිදුවූ අතර ස්වාමීන් වහන්සේ සමග මාධ්‍යවේදීන් ගමන් ගත් මෝටර් රථයකට ද පහරදීමක් සිදුවී තිබේ.
ඒ අනුව ස්වාමීන් වහන්සේ ගම්වාසීන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රාජාංගනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ඉන් අනතුරුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුළු පිරිස මිහින්තලේ පොලිස් ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළහ.
එම අවස්ථාවට මිහින්තලේ නායක හිමි වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමිද සහභාගි වූයේ පාහියන්ගල හිමියන්ගේ ඉල්ලීම පරිදිය.
එම අවස්ථාවේදී මිහින්තලේ නායක හිමි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට දුරකථන ඇමතුමක් දී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබූ බව සදහන්.