ගංගාරාම 43 වන නවම් මහා පෙරහැර ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්විණ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහැර ඊයේ (16) රාත්‍රියේ පැවැත්විණ.

මෙවර පෙරහැර සංවිධානය කර තිබුණේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරි ආචාර්යය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධික්ෂණය යටතේ ය.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි විසින් පැමිණ සිටි පිරිස පංච සීලයේ පිහිටුවා කෙටි අනුශාසනාවක් ද සිදුකරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරන ලද අතර මෙවර පෙරහැර උඩරට පහතරට සහ සබරගමුව සම්ප්‍රදායන්ට අයත් නර්ථන කණ්ඩායම් සහ අලි ඇතුන්ගෙන් වර්ණවත්ව තිබුණි.

එමෙන්ම මෙහි දී ගංගාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීම සහ විහාරස්ථානය ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමනා බලපත්‍රයක් මඟින් විහාරස්ථානය වෙත පූජා කිරීම ද ජනාධිපතිවරාය අතින් සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පෙරහැරට පැමිණි ඇත් ගොව්වන් සඳහා පාපැදි පිරිනැමීම ද මෙහි දී සිදුව ඇත.

Exit mobile version