“ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි” – මන්ත්‍රිණී කෝකිලා

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කෝකිලා ගුණවර්ධන මහත්මිය මෑතකදී සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාවකදී ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නීතිගත කළ යුතු බවට සඳහන් කර ඇත.

ඉතිහාසයේ සිටම මෙම ගණිකා වෘත්තිය පැවතෙන්නක් බවත් එම යුගයන්හි දී ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද  හිමිව ඇති බවත් මේ වන විට මෙරට තුළ ගණිකා වෘත්තිය නීත්‍යානුකූල නොවූ පසුබිමක කාන්තාවන්ට බරපතල අසාධාරණයක් වන බවත් ඇය මෙහි දී පෙන්වා දී ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මෙම ගණිකා වෘත්තිය නීත්‍යානුකූල කර නොමැති පසුබිමක් තුළ දී කාන්තාවන් බොහෝමයක් ලිංගික සූරාකෑම්වලට ලක්වන බවත් ,ස්ත්‍රී දූෂණ, ළමා අපචාර , නීතිවිරෝධී ගබ්සා වැනි ක්‍රියාවන් ද මෙතුළින් අඩු කරගැනීමේ හැකියාව ඇති බවද ඇය සඳහන් කර ඇත.

 අනෙකුත් රටවල්හි ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර අපේ රටට සාපේක්ෂව අඩුවක් දක්නට ලැබෙන්න හේතුව ඔවුන්ගෙ රටවල ගණිකා වෘත්තිය නිතිගත කර තිබීමයි.එතුළින් සමාජය තුළ ලිංගික විකෘත්තිකයන් අවම වෙනවා වගේම සමාජයේ ලිංගික නිදහස තිබෙන අතර ඒ හේතුවෙන් ස්ත්‍රී දූෂණ වැනි ක්‍රියාවන් එම සමාජයන්හි වාර්තා වන්නේ ඉතාමත් අඩුවෙන් බවයි ඇය පෙන්වා දෙන්නේ.

අපේ රටතුළ පවතින සංස්කෘතික සමාජයට ගැලපෙනවාද යන්න පිළිබඳව මාධ්‍යවේදියා විසින් පැනයක් නගා ඇති අතර එහි දී ඇය සඳහන් කළේ මෙවැන්නකි.

දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙ බුදුහාමුදුරුවන් ඉපදුන රටේ ඔය වෘත්තිය නීත්‍යානුකූලව සිද්ධ වුණේ නැද්ද? අපේ සංස්කෘතිය ඇතුළෙ වහගෙන අපි රකින්නෙ ඇත්තටම මොනව ද?සැබෑ අර්ථයෙන්ම සංස්කෘතික හරයන් ආරක්ෂා කරගත යුතුමයි.එය කිසිවෙකුට ප්‍රශ්න කරන්න බෑ.නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් අපේ සංස්කෘතිය විනාශ වෙනවා කියන්නෙ මොන පදනමින් ද? මා ඒ කාරණාවට එකඟ නැහැ.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ගණිකා වෘත්තිය ඇතැමෙක් තමන්ගේ ඇති අසරණකම නිසා දුප්පත්කම නිසා පවතින ආර්ථික අපහසුතා නිසා සිදුකළ ද තවත් සමහරෙක් එසේ නොවන බවයි.

සමාජය තුළ රැකියාව වශයෙන් ගණිකා වෘත්තිය තෝරාගත් ධනය බලය නොමැති කිසිදු සමාජ වරප්‍රසාදයක් නොමැති අතිශය අමානුෂික සූරාකෑම්වලට ලක් වූ අසරණ කාන්තාවන් පිරිසක් සිටින අතර ඒ අය සඳහා මෙම අවස්ථව ලබා දීය යුතු බවයි ඇය පවසන්නේ.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ද ඉතා වැදගත් වන බවත් දරුවන් සතුව මේ පිළිබඳව දැනුමක් නොමැතිකම නිසාම ඔවුන් බොහෝ අවස්ථාවන්හිදී අපචාර දූෂණවලට ලක් වන බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළ අතර මේ නිසා දරුවන්ට මනෝවිද්‍යාත්මක  අනුමැතිය අධ්‍යනය කර ඒ ඔස්සේ පාසල හරහා මෙම ලිංගික අධ්‍යාපනය ලබා දීම පිළිබඳව ද යම් යෝජනාවක් ඔවුන් සතුව ඇති බව ද සඳහන් කරයි.

අවසන් වශයෙන් ඇය සඳහන් කළේ ඇයට මෙම ගණිකා වෘත්තිය නීතිගත කළයුතුයි යන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවත් එයට හේතුව එවැනි කරුණක් මැතිවරණයක් තුළ දී ඉතාම අවසිදායක තත්ත්වයක් විය හැකි බවත් එමෙන් ම පාර්ලිමේන්තුවේ ද බහුතරය එයට විරුද්ධ වන නිසාත් ඇයට එම හැකියාව නොමැති බවයි.

කෙසේ නමුත් කාන්තාවක් වශයෙන් ඇය මෙම ගැටලුව පිළිබඳව හඬ අවදි කරන්නේ සමාජය තුළ මේ වන විට දක්නට ලැබෙන ගැටලුකාරී තත්ත්වයන් සහ කාන්තාව ලිංගික සූරාකෑම්වලට මෙන්ම අසාධාරණයට ලක්වීම ආදී කරුණු හේතුවෙන් බවයි ඇය පෙන්වා දුන්නේ.

Exit mobile version