ගණිත ගුරුවරයාගෙන් කනේපහර කෑ සිසුවා රෝහලේ…ගණිතය සර් පොලිසියට හොරා කට්ටි පනියි…

දොරපනේ ජාතික පාසලේ ගණිත ගුරුවරයාගෙන් කනේ පහර කෑ 11 වන ශ්‍රේණියේ සිසුවෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හමුවේ “ලඟම පාසල හොඳම පාසල” යන සංකල්පය යටතේ මෙම දොරපනේ ජාතික පාසල වෙත පාසල් කිහිපයකම සිසු දරුවන් මේ දිනවල සිය අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන බව සඳහන් වේ.

ලඟම පාසල හොඳම පාසල බවට හොඳින්ම තහවුරු කරමින් වීරකැටිය පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙසේ දොරපනේ ජාතික පාසලේ කේ.චමින්ද නමැති ගණිත ගුරුවරයාගෙන් කනේ පහරක් කෑ පුවත අපට අසන්නට ලැබිණ.

අදාළ සිසුවා සිකුරාදා (05) උදෑසන කොලොන්න රෝහලට ඇතුළත් කර ඇති අතර  අනතුරුව 2022.08.06 දින කොලොන්න රෝහලෙන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් වඩාත් සිත්ගන්නා කොටස වී ඇත්තේ දොරපනේ ජාතික පාසලේ විදුහල්පතිගේ ප්‍රකාශයයි.මෙම විදුහල්පතිවරයා ප්‍රශ්න කිරීම්වලදී කලාප කාර්යාලය වෙත සඳහන් කර ඇත්තේ සිසුන් පිරිසක් ගණිත පන්තියට සහභාගී නොවීම හේතුවෙන් අදාළ ගණිත ගුරුවරයා අවවාද කර ඇති බවත්, එහිදී එකට එක කීමට උත්සහ කළ සිසුන් කිහිප දෙනෙකුගේ කම්මුලට යන්තම් ගසා ඇති බවත් ය.

එය එසේ වේ නම් මෙම ගණිත ගුරුවරයා කම්මුල අත ගා ඇත්තේ ද එක සිසුවෙකුගේ පමණක් නොවන බව අපට තේරුම්යන සරල කරුණකි.කෙසේ නමුත්  ළමුන්ට අතින් පයින් පහර දීම වහාම වැළැක්විය යුතු කරුණකි.එවැනි පහර දීමක දී වැරදීමකින් හෝ දරුවෙකුට විශාල අනතුරක් සිදු වීමට පවා ඉඩ ඇති බව මෙම බුද්ධිමත් යැයි සිතන ගුරුවරුන් මෙන්ම මෙවැනි විදුහල්පතිවරුන් ද තේරුම්ගත යුත්තකි.

මෙවැනි ගුරුවරුන්ට මෙන්ම ඔවුන් ආරක්ෂා කිරීමට මෙසේ අසත්‍ය තොරතුරු ලබා දෙන විදුහල්පතිවරුන්ට ද දැඩි දඬුවම් පැමිණවිය යුතුය.කෙසේ නමුත් ඉතා කණගාටුවට කරුණ වන්නේ 2022.08.07  දින වන විටත් අදාළ ගුරුවරයාගෙන් කටඋත්තර ලබා ගැනීමට ඔහුව පොලිසියට කැඳවා නොතිබීමයි.

රටේ ආරක්ෂාව ,මහජනතාවගේ ආරක්ෂාව සුරැකීමට සිටින මෙම නිලධාරීන් අපේ රටේ වටිනා වස්තුවක් වන අනාගත පරපුර වෙනුවෙන් යොමු කරන අවධානය මෙතරම් දුර්වල  වූයේ කෙසේ ද?   

Exit mobile version