යුකැලිප්ස්ටික් ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගියදා (04) ජිවිතක්ෂයට පත් වයස අවුරුදු 14ක පාසල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (06) නෝර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.
මෙසේ ගසක අත්තක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම වතුයායේ මැද කොටසේ පදිංචිව සිටි නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 9 වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මුරුගන් අසාන්ත් නමැති සිසුවෙකි.
මියගිය සිසුවා පසුගියදා (04) දහවල් 12.30ට පමණ ඔහුගේ මිතුරන් දෙදෙනකු සමඟ සිය නිවෙසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නෝර්වුඩ් නගරයට ගමන් කරමින් සිටිය දී යුකැලිප්ස්ටික් ගසක එල්ලී තිබූ අත්තක් එකවරම පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටී ඇත. වතු කම්කරුවන් සහ ඔහුගේ මිතුරන් එක්ව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පාසල් සිසුවාගේ තත්ත්වය බරපතළ විම නිසා එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සිසුවා ජීවිතක්ෂයට පත් වි ඇති අතර, ජීවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර පෙරේදා (05) දින පස්වරුවේ ඥාතීන් වෙත භාර දෙනු ලැබීය.
පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු එම වතුයායේ වගා කර තිබූ යුකැලිප්ස්ටික් ගස් කිහිපයක් මිලදී ගෙන එම ගස් කපා ඉවත් කිරීමේදී කැපූ විශාල ගසක් බිමට කඩා වැටීමේදී එම ගසේ අත්තක් කැඩී තවත් ගසක රැදී තිබී ඇත. එසේ අවධානම් ලෙස ගසෙහි රැඳී තිබූ යුකැලිප්ස්ටික් අත්ත පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වී ඇති බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කෙළේය.
ගස් කැපීමට කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබූ කොන්ත්‍රාත්කරු සහ සහායකයන් සිව්දෙනෙක් නෝර්වුඩ් පොලිසිය පෙරේදා (05) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් පස්දෙනා ලබන 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(දිනමිණ)