ගිලා බැසීමේ අවධානමට ලක්වූ මාර්ගය

ඉන්දික රංගජිව
අනුරාධපුරය
16-11-2023

මාතෘකාව – ත්‍රිකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ජලාශය ප්‍රදේශයෙන් සිදුවෙමින් පවතින මාර්ගය ගිලාබැසීමේ අවදානම පිළිබඳව මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කඩිනමින් වගකිවයුත්තන් දැනුවත් කිරීමට කටයුතු කරයි.

ත්‍රිකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ජලාශය ප්‍රදේශයෙන් මාර්ගය ගිලාබැසීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

අනුරාධපුරයට ඇදහැලෙන වර්ෂාව හා ඒරු වැව ජලාශයෙන් මහකනදරාවට ජලය මුදා හැරීමත් හේතුවෙන් මේ වන විට මහකනදරාව ජලාශය වාන් මට්ටම දක්වා ජල ධාරිතාවය ඉහළගොස් ඇති අතර වැව් බැම්ම සේදීමට ලක්වෙමින් සිදුවන ඛාදනය හේතුවෙන් මෙසේ මාර්ගය අවදානමකට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් පවසයි. 

උතුරු ජල යෝජනා ක්‍රමයක් සදහා ජලය ලබාගැනීමේ අරමුණින් මහකනදරාව ජලාශයේ පැවැති වාන් මට්ටම නැවත අගල් නවයක් ඉස්සීම හේතුවෙන් එම අමතර ජල ධාරිතාවය දරාගැනීමට නොහැකිවීම නිසා මෙසේ ත්‍රිකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව  ප්‍රදේශයෙන් කාදනය වෙමින් මාර්ගය ගිලා බැසීම ආරම්භ වී ඇති බව ද ප්‍රදේශවාසීන් පවසයි.

එමෙන්ම කාපට් මාර්ගය මේ වනවිට ඉරිතැලී ඇති අතර මාර්ගය දෙපස ඇති ගස් සහ අධිබලැති විදුලි රැහැන් කණු ද සහිතව මාර්ගය කාදනය වෙමින් පවතින අතර ප්‍රදේශවාසීන් පවසන්නේ කඩිනමින් මේ සඳහා පිළියම් නොයෙදුවොත් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගිලා බැසීමට ලක් වන බව ය.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් අනුරාද නායක බන්ඩාර මහතා කාදනයට ලක්ව ඇති ත්‍රිකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ප්‍රදේශයට පැමිණ ඒ පිළිබඳව සොයා බැලූ අතර මේ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා උතුරු මැද පළාත් මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරීන්ව දැනුවත් කිරීමට කටයුතු කළහ.

Exit mobile version