ගෙවුණු මාස දෙකේ ත්‍රිවිධ හමුදාවේ 3500 යක් පැනලා. නිලධාරීන් 25ක් ඒ අතර…….! (විචාරයක්)

ලංකාවේ සමාජ විද්‍යාඥයින් සිටිනවා කිව්වාට, මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ පවත්වන්නෙ කීයෙන් කී දෙනාද? ජනතාව දැනුවත් කිරීම සඳහා පර්යේෂණ වාර්තා ප්‍රසිද්ධ කිරීමක් කරන්නේද?

ඒ වෙනුවට ඔවුන් කරන්නේ තමන්ගේ උගත්කම් පිච්චියට දමා උසස් තනතුරුවලට ලොබ කරමින් නූගත් දේශපාලුවන් පිටුපස යෑමයි.

යුද්ධයක් තිබෙන කාලයේ තරුණයින් හමුදාවට බැඳීමත්, යුද්ධයක් නැති කාලේ හමුදාවෙන් ඉවත් වීමත් සැබැවින්ම සමාජ මනෝ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු සුවිශේෂී තත්ත්වයක් ද කියා සොයා බැලීම මෙම විශ්වවිද්‍යාල උගතුන්ට පැවරුණු කාර්යභාරයක්.

මහජනතාවගේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තානම්, ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ද යමක් කළ යුතුමයි.

අපගේ සමාජ විද්‍යාත්මක දැනුමෙන් මේ සම්බන්ධයෙන් අප විසින් ගොඩ නගන ප්‍රස්තුතය නම්, ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ Emile Durkheim ගේ ප්‍රසිද්ධ Anomie (normlessness) සංකල්පයට අනුව පුද්ගලයා සමාජයෙන් අපගමනය විම නිසා මේ තත්ත්වය සිදුවන බවයි.

තමා ළඟ ඇති ඒත් සමාජයේ දක්නට නැති ධර්මතා (norms) හේතු කොටගෙන සමාජ ජීවිතයෙන් අපගමනය වීම පමණක් නොව, තමන්ගේ ජීවිතයෙන්ද සමු ගැනීම සිදුකරන බව Durkheim පවසනවා. (La Suicide by Emile Durkheim).

යුද සමයේ හමුදාව තුළ පවතින විනය සාමය පවතින අවස්ථාවේ තිබෙන විනයට වඩා වෙනස් වන්නේ මෙකියන විනයෙන් තොර ව යුද්ධයේදී ජයග්‍රහණයක් ලැබිය නොහැකි බව හමුදාවේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා දැන සිටීම නිසයි.

ගාම්භීර නිළ ඇඳුම හැඳ අවි දරා සිටින විට සොල්දාදුවාට දැඩි ආත්ම අභිමානයක් ඇති වෙනවා. ඒ අභිමානය තුළ ඔහු සොයන්නේ සතුරෙකු නොව තමා තුළ ජීවත්වන ඒ වීර සෙබළායි. ඒ වීරත්වය තුළ නිතැතින්ම සතුරාගේ පරාජයත් සනිටුහන් වෙනවා.

උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ යුද්ධයේදී මේ තත්ත්වය වඩාත් උද්දීපනය වී පෙනුනා. තමා සමග උරෙනුර ගැටෙමින් එකට සටන් කළ හැම සොල්දාදුවෙක් ම වීරයෙක් ලෙස ඔහු දුටුවා. අණ දෙන්නන්ද වීරයින් ලෙස දුටුවා.

යුද්ධය අවසානයේ දී තමන්ට නායකත්වය දුන් යුද වීරයින් තුට්ටු දෙකේ දේශපාලුවන් ඉදිරියේ සිවිල් සමාජයේ තනතුරු වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දෙන අයුරු දුටු සාමාන්‍ය සෙබළුන්ට ඇතිවන හැඟීම කෙබඳු විය හැකිද?

අපි දිවි පරදුවට තබා සටන් කළේ මේකට ද කියා ඔවුන් ඔවුන්ගෙන්ම අසනු ඇත.

සාමාන්‍ය සොල්දාදුවා හෝ ඊට ඉහළින් සිටින නිලධාරීන්, හමුදා වල ඉහළින්ම සිටින නිලධාරීන් හා දූෂිත දේශපාලකයින් අතර ඇති දැඩි සම්බන්ධතාවයත් දකිනවා. රටේ ආර්ථික පරිහානිය නිසා සාමාන්‍ය සොල්දාදුවාගේ සිට අධිකාරි තත්වය ලැබූ පුද්ගලයින්ගේද පවුල්වල ආර්ථිකය කඩා වැටීම හේතුකොටගෙන රට ගැනත්, තමන් සේවය කළ හමුදාව ගැනත්, රටේ පාලකයින් ගැනත් ඇතිවන්නේ කළකිරීමක්. සමහරවිට පිළිකුලක්.

කවදාවත් යුනිෆෝමයක් නොදැරූ තැනැත්තෙකුට මෙකියන ආත්මානුකම්පාව ඇතිවන්නේ නැහැ.

Emile Durkheim පවසන අන්දමේ දිවිනසා ගැනීම දක්වා වූ තත්ත්වයකට තරම් දුරදිග නො ගියත් මේ තත්ත්වය යටතේ ඔවුන් සමාජයෙන් අපගමනය වී බොහෝ කල්.

කොටසක් රට හැර ගිය හැකියි. කොටසක් පාතාල ලෝකයට වුව එක් විය හැකියි. දුප්පත් වුණත් ආත්ම ගෞරවය ඇති සොල්දාදුවා හිඟමන් නොයැද, ගෙවත්තේ යමක් වගා කර ගෙන අතිරික්තය විකුණමින් දරුමල්ලන් පෝෂණය කරමින් ජීවිතය ගෙවා දැමීමට තීරණය කරනු ඇත.

මේ සටහන අවසන් කරන්නට කලින් මා හට මතක් වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී සිංහල කවියකු විසින් රචිත කවියක අන්තිම පේළියයි.

“ ලෙව්කේ මැතිඳු අද තනියම වෙළ මැද්දේ”

(මහාචාර්ය එඩ්වඩ් එඩ්වර්ඩ් එම් පෙරේරා)

18.03.2023

Exit mobile version