ගොඩකවෙල “කුඩු කිරිල්ලි” මෙහෙය වූ ද්විත්ව ඝාතනයක් සමඟ සැඟවුණු සමාජ අපරාධ ගණනාවක්ම අනාවරණය වේ. දෙදෙනෙක් අත් අඩංගුවට ගනී

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ කුඩු කිරිල්ලි නමැති අන්වර්ත නාමයෙන් හදුන්වනු ලබන කාන්තාවකගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලැබූ ද්විත්ව ඝාතනයක තොරතුරු ඇතුළු අපරාධ ගණනාවක සුලමුල සොයා ගැනීමට ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සමත්ව තිබේ.

ප්‍රදේශයේ තරුණයන් සමග හාද වී ඔවුන් සමඟ ලිංගික ක්‍රියකාරකම් වල යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්නා එම කාන්තාව විසින්ම තරුණයන් විවිධ අපරාධවලට යොදවාගෙන තිබේ. එසේ අපරාධකරමින් මංකොල්ලා කා ගෙන එන විවිධ භාණ්ඩ එම කාන්තාව වෙත ගෙනත් දීමෙන් පසු ඒ වෙනුවට කුඩු ඇතුළු මත්ද්‍රවය ලබා දීම සිදුකර තිබේ. එසේ ලබා ගන්නා රන් භාණ්ඩ ආදිය උගස් මධ්‍යස්ථානවලට උගස් නොකර විවිධ ප්‍රචාරක පුවරු වල සඳහන්ව තිබෙන අංකවලට කතා කර ඒවා ඔවුන්ට විකුණා තිබේ.

මෙම කාන්තාව විසින් මෙහෙයවන ලද අපරාධ කණ්ඩායම විසින් පසු ගිය අප්‍රේල් 12 වනදා ගිරාදුර , පල්ලෙබැද්දේ පදිංචිව සිටි මග්ගොනගේ දයානන්ද (82) සහ රඹු ක්කනගේ හේමලතා (75) යන අඹු සැමි යුවල ඝාතනය කර තිබෙන බවට සැක පිට අද (08) අත් අඩංගුවට ගෙන තිබේ. මාස කිහිපයක් තිස්සේ සිදුකරනු ලැබූ පරීක්ෂණවලින් පසුව ඝාතකයන් සහ ඔවුන් මංකොල්ල කෑ රත්තරන් බඩු සහ මුදල් ද සොයා ගැනීමට ගොඩකවෙල පොලිසිය සමත්ව තිබේ.

එසේම මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මුදියන්සේලාගේ දොන් හසිත සරත්චන්ද්‍ර නොහොත් සංජු නැමති යන අයද අත් අඩංගුවට ගෙන තිබෙන අතර අවට වෙනත් පොලිස් බල ප්‍රදේශවලද නිවෙස්වලට පැන බිය වද්දා භාණ්ඩ මංකොල්ල කෑම, පොහොර ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීම් ඇතුළු අපරාධ ගනනාවකට මොහු සම්බන්ධ බව වාර්තා වෙයි.

දීර්ඝ කාලීනව සමාජයට නිරාවරණය වෙමින් ප්‍රදේශ ගනනාවක නිවෙස් වලට පැන සමාජයක් භීතියට පත් කර හොර රහසේම තරුණයන් විවිධ අපචාරවලට ගොදුරු කරගනිමින් සිදුකර තිබෙන මෙම කටයුත්ත භයානක සිද්දියකි. මෙම අපරාධය සදහා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ගොඩකවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සබරගමුව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ පී මහින්ද ගුණරත්න, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ ජේ එන් වීරසේකර සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි චානුක ප්‍රේමසිරි වික්‍රමසිංහ යන මහතුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එන්. ආර් . විජේසිරි සහ පොලි පරීක්ෂක සස්මේන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ සිදුකර තිබේ. සැකරුවන් අද (08) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

https://www.ravanalankanews.lk/10866/04/%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f-%e0%b6%af%e0%b6%b8%e0%b6%bd/14/09/
Exit mobile version