ගෝඨාගේ ගෝත තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි.

බොහෝ හමුදා නායකයන් නූගත් බවත්, ඔවුන් රටේ නීතියට ගරු නොකරන්නෝ බවත්, හමුදා නීතියට අනුව රට පාලනය වන බවත් අප දිගින් දිගටම පෙන්වා දෙන්නේ ඔවුන් සමග අමනාපයෙන් නොවේ. ඒ ඊ ලග හමුදා පරපුරට එය නිසි ලෙස ඉගෙන ගැනීම සදහාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හිටපු හමුදා ප්‍රධානියෙකි. ඔහු ජනාධිපති බවට පත්වීමෙන් රටට යහපතක් නොවුනු අතර හිතලු ඔස්සේ නීති පනවන ලදී. එසේ පනවන ලද නීතියක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021.03.12 වැනිදා නිකුත් කළ 1/2021 දරන රෙගුලාසි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නීතිය හමුවේ බලරහිත රෙගුලාසි බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් වූ ගාස්තු ගෙවන ලෙසට ඊයේ (13) රජයට නියම කළේය.

එම රෙගුලාසි අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සිතාරා සෙරින් අබ්දුල් සාරුර් හා අම්බිකා සෙත්කුගාතන් යන පෙත්සම්කරුවන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාග කළ බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම නියෝගය කළහ.

එකී රෙගුලාසි මගින් පෙත්සම්කරුවන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (1) සහ 13 ව්‍යවස්ථා යටතේ හිමිකරදී ඇති මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල, එකී රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා සළකා බැලීමටත් නුසුදුසු බවට නිගමනය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති හේවාමාන්න යන පිරිස පෙනීසිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ රජය වෙනුවෙන් පෙනීසිටියේය.

අතරමැදි පාර්ශ්වකරු වෙනුවෙන් නීතිඥ ෂෙහාන් ද සිල්වා සමග නවීන් මහ ආරච්චිගේ පෙනීසිටියහ.

ආගමික අන්තවාදය පැතිරවීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් එලෙස දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට ඉඩකඩ සලසමින් එම රෙගුලාසිය නිකුත් කර තිබිණි.

Exit mobile version