චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව බකිංහැම් මාලිගාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට සති දෙකකට පෙර පුරස්ථි ග්‍රන්ථයේ සැත්කමට ලක් වූ රජුට පිළිකාවක් වැලඳී ඇතැයි හෙළි වී ඇත්තේ ද එම අවස්ථාවේදී බව බකිංහැම් මාලිගාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. 75 හැවිරිදි චාල්ස් රජු මේ වන විට ප්‍රතිකාර ගනිමින් නිවෙසේ විවේකීව පසුවන බවත්, ඔහුගේ රාජකාරි කටයුතු අඩකින් පමණ අඩු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට වැලඳී ඇති පිළිකාව සම්බන්ධව වැඩිදුර තොරතුරු හෙළි නොවූව ද, එය පුරස්ථි ග්‍රන්ථයේ පිළිකාවක් නොවන බව ද වාර්තා වේ.

මේ වන විට චාල්ස් රජු වෛද්‍ය උපදෙස් මත මහජන රාජකාරීවලින් බැහැරව සිටිය ද, සතිපතා බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් හමුවීම අඛණ්ඩව සිදු කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. චාල්ස් රජුගේ පිළිකා තත්ත්වය ආරම්භයේදිම හඳුනා ගැනීමට හැකිවීම පිළිබඳ දෙවියන්ට ස්තූතිවන්ත වන බව රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කර ඇත. ඔහුගේ පිළිකාව සුව කළ හැකි බවට වෛද්‍යවරු විශ්වාසය පළ කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවත් චාල්ස් රජුගේ නිල රාජකාරි කටයුතු වැඩි ප්‍රමාණයකට විලියම් කුමරු සහභාගි වනු ඇතැයි ද, පිය රජුගේ සුවදුක් බැලීම සඳහා අමෙරිකාවේ සිටින හැරී කුමරු ලබන සතියේදී බ්‍රිතාන්‍ය බලා පැමිණීමට නියමිතව ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


(දිනමිණ)

Exit mobile version