චූටි ඇප මත නිදහස්

අද (09) අභියාචනාධිකරණය නියෝග කළේ වසර 04ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු ඇප මත මුදාහැරීමටයි.

එලෙස ඇප මත මුදාහැරුනේ හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙකු වන අතර නියෝගය දැනුම්දෙමින් අභියාචනාධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ නීතිඥවරුන්ට සහ පොලීසියට අවශ්‍ය ලෙස වසර ගණන් කිසිවෙකු රක්ෂිත බන්ධනාගාර භාරයේ රඳවා තබාගැනීමට ඉඩදිය නොහැකි බවත් යම් චෝදනාවක් සාක්ෂි සහිතව අධිකරණය හමුවේදී සනාථ කරනතුරු යමෙකු සතු නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය අහිමි කළ නොහැකි බවත් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට හිමිකරදී තිබෙන අයිතීන් යමෙකුට අහිමි කිරීමට නම් අධිකරණයට පිළිගත හැකි සාක්ෂි තිබිය යුතු බවද එම ඇප නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය පවසා තිබෙන අතර විනිසුරු සම්පත් අබේකෝන් මහතා ගේ එකඟතාවය ඇතිව විනිසුරු පී. කුමාරත්නම් මහතා මෙම සම තීන්දුව නිකුත් කර තිබේ.

තවදුරටත් වාර්තා වන ආකාරයට හෙරොයින් ග්‍රෑම් 18ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ මෙම නඩුවේ සැකකාර දිනුක්ෂ සංජීව හෙවත් ‘චූටි’ නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප දෙකක් යටතේ නිදහස් කර තිබේ.

Exit mobile version