මේ කාල විපත්තියක් බව සියලු දෙනාම දැනගත යුතු ය. ඒ ධර්මය ඔස්සේ ජීවිතය තේරුම් ගෙන සිත ශක්තිමත් කරගත යුතු ය. ඒ බුද්ධශ්රාවක යුතුකමයි.
උපුටා ගැනීම –
‘කාලවිපත්තිය’ යනු නරක කාලය ය.
😢හොඳ පාලකයන් නැති කාල,
😢යුද්ධ පවත්නා කාල,
😢නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල,
😢දුර්භික්ෂ කාලාදිය නරක කාලයෝ ය.
නරක කාලවල ජීවත්වන්නහුට ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් ලැබීමට නිසි පින් ඇත්තේ ද කාලවිපත්තිය නිසා ඒවා නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අතිප්‍රණීත භෝජනයක් ලැබීමට නිසි පිනෙන් සමහර විට විපත්ති කාලයේ දී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඥ භෝජනයෙකි. හොඳ කාලයේ දී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුශල කර්මයෝ ද කාල විපත්තියේ දී විපාක දෙන්නාහ.
- ධර්ම විනිශ්චය – රේරුකාණේ චන්දවිමල මහස්ථවිරයන් වහන්සේ.
අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලවිපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.
කාලවිපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇත්තාහ. ලෝකය ගුණධර්ම වලින් පිරිහී ඇති, නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භික්ෂභය රෝගභය අමනුෂ්‍ය භය ඇති විපත්තිකාලයේ දී අතීතයෙහි කළ පින් ඇතියවුන්ට ද සැපසම්පත් නො ලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුශලකර්ම සමත් නො වේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුශලකර්මය වුව ද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබාදීමට පමණෙකි.
- සූවිසි මහ ගුණ – රේරුකාණේ චන්දවිමල මහස්ථවිරයන් වහන්සේ.
මහාපදාන සුත්තට්ඨ කථාවේ පරිදි :-
සියලු බුදුවරයන් අසංඛෙය්යායුෂ්කයන් බවත් මහාපදාන සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් එපමණ කල් ජීවත් නො වන්නේ කාලවිපත්තිය නිසා ය.
අසංඛෙය්යායුෂ්ක කාලයේ උපන හොත් ඒ කර්මය බුදුවරයන් වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේලා උපදනා කාලය එතරම් ජීවත් විය හැකි කාලයක් නො වන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි.
- සූවිසි මහ ගුණ – රේරුකාණේ චන්දවිමල මහස්ථවිරයන් වහන්සේ.
මේ කාලයේ දී පාලන කටයුත්තේ ද නීති කටයුත්තේ දුර්වල භාවය නිසා ඇතිවූ මේ කාලවිපත්තිය අප දැනගත යුත්තකි. සිත උපේක්ෂාවෙන් පවත්වා ගැනීම උතුම් වේ.
ගින්නට පිදුරු දමන්නා සේ ප්‍රවෘති ඔස්සේ සිත අවුලා නොගෙන සිහිනුවණින් කුසල් වඩන ශ්‍රාවකයාගේ සිත දුබල සිත් ලක්ෂයකටත් වඩා බලවත් ය.. එම සිතින් යොදන මෛත්‍රී බලය රටටම ශක්තියකි… ඒ නිසා දිනපතා ලංකාව අරමුණු කොට…
ලංකාවේ සකළ ජනයාගේ
කාල විපත්ති දුරු වේවා..
ගති විපත්ති දුරු වේවා..
උපධි විපත්ති දුරු වේවා..
ප්‍රයෝග විපත්ති දුරු වේවා..
කාල සම්පත්ති පහළ වේවා..
ගති සම්පත්ති පහළ වේවා..
උපධි සම්පත්ති පහළ වේවා..
ප්‍රයෝග සම්පත්ති පහළ වේවා..
යැයි මෛත්‍රී භාවනාව කිරීම උතුම් වේ..
එමෙන්ම බහුල වශයෙන් ලංකාවේ ජනයා අරමුණු කොට කරුණා භාවනාව සිදු කරන්නට ද යෝජනා කරමි..
කුසල් සිතින් මේ රට වෙනස් කරනවා හැර අන් ක්‍රමයක් සියල්ලන්ටම නොමැත.
මුල් ලේඛකයාට පුණ්‍යානුමෝදනා වේවා…