ජනපති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙයි

මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙනු ලබන එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇත.

එහිදී මොවුන් සුහද පිළිසඳරක නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන් ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දනවන්නක් වූ බවයි.

මෙම සමුළුව සඳහා ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන පුද්ගලයින් 25,000ක් පමණ එක්ව සිටි අතර එහි දි නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇත්තේ 2070 වර්ෂය වන විට කාබන් ශූන්‍යතාවය ලඟා කරගැනිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන් ම ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය 2050 වර්ෂයේ දී කාබන් ශූන්‍යතාවය ළඟ‌ා කරගන්නා බවට ප්‍රතිඥාදුන් අතර චීනය 2060 වර්ෂයේ දී කාබන් ශූන්‍ය කරගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව 2050 වර්ෂය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්ලාස්ගෝ සමුළුවේ දී ප්‍රකාශ කර ඇත.

Exit mobile version