ජනපති මහමැතිවරණය ගැන පුරසාරම් දොඩනවා – විපක්ෂ නායක සජිත්

පළාත් පාලන ඡන්දයවත් තියන්න බැරි ජනපති මහමැතිවරණය ගැන පුරසාරම් දොඩනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුන දීමට සූදානම් බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායකවරයා විසින් එම පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල ලබා ගැනීමටද මුදල් ලබා දීමට කටයුතු කළේය.

ඖෂධ වංචා කළ වියට්නාම සුව ඇමති දඟගෙට ලංකාවේ සුව ඇමතිට සැප පුටු

කම්බ හොරු කණ්ඩායමක් රජයේ ඇමතිවරු සහ නිලධාරීන් සමඟ එකතු වී හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් මෙන්ම ඖෂධ රාශියකින් ගසා කා ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් යන ඖෂධය වෙනුවට වතුර කවලම් කර ඇති බවත් ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපතිවරයාගේ රැකවරණය ආරක්ෂාව යටතේ පෙනි පෙනී හොරකම් සිදු කරන විට පවා ජනාධිපතිවරයා එම ඇමතිවරුන් එලවා නොදමා ඔවුන්ව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂය විසින් ඖෂධ වංචා සිදු කළ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ 113 යොදවා ගෙන ඔහුව ආරක්ෂා කළත් පසුගිය දා වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට ලබා ගැනීම තුළ මූල්‍ය අවභාවිතය නිසා ඇ. ඩොලර් ලක්ෂ 22ක හොරකමකට වියට්නාමයේ සෞඛ්‍ය ඇමතිවරයා වසර 18කටත් ඇමති සමඟ හොරකමේ නිරත ව්‍යාපාරිකයා වසර 29කට හිරේ යැවූ බවත් වියට්නාමය තුළ එසේ වන විට ජනාධිපතිවරයාගේ සිට රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායමේ අතකොලුවන් ටික දූෂිත සෞඛ්‍ය ඇමතිවරයාව රකින්න මෙරට දී අත ඉස්සු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වියට්නාමය ශ්‍රී ලංකාව මෙන් බංකොලොත් නොව ශීඝ්‍රයෙන් දියුණු වන රටක් බවත් එම දියුනුවන රටේ පවා හොරකමට දඩුවම් ලබා දෙන විට බංකොලොත් රටේ ජනතාවට විශාල බදු බරක් පටවා මහා පරිමාණයෙන් හොරකම් සහ ජාවාරම් සිදු කර බවත් මේ රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලා ඔවුන් හොරා කන ලද සම්පත් මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට යොමු කිරීම සමගි ජන බලවේගයේ මුලික අරමුණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි ෆයිල් පෙන්වා සංදර්ශන තිබ්බේ නෑ

සමගි ජන බලවේගයට කිසිදු අවස්ථාවක ෆයිල් පෙන්වා සංදර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ සිටම රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණ හමුවේ අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පාසල්වල වතුර කැපුවට ජනපතිගේ රට සවාරි නම් අඩුවක් නැහැ

වැට් බදු 18% දක්වා වැඩි කර ජනාධිපති රට සවාරි යනවා සේම මිලියන 250ක් වැය කර රතු මුහුද ආරක්ෂා කරන්න නාවික හමුදාව යැවීමට රජය කටයුතු කළත් පාසල්වල වතුර බිලවත් ගෙවා ගත නොහැකි වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වියට්නාමය දඩුවම් දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල විවෘත අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් හරහා හොරු අල්ලා දඩුවම් ලබා දෙන බවයි.

අපි ගාව කොමිස් ගැහිලි නෑ

කොමිස්වලින් තොරව අවංකව, පිරිසුදුව ජනතාවට සේවය කිරීමට හැකියාව තමාට ලැබී ඇති බවත් ඒ සඳහා විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් තමා වටා එක්වී ඇති බවත් මෙහි දී කිසිදු මුදලක් තමාට නොලැබෙන බවත් තමාට ලැබෙන්නේ අදාළ උපකරණ පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා සමගි ජනබලවේග රජයක් තුළ සෑම මුදල් ගණුදෙනුවක්ම ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන බවත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීම් සිදු නොකර අදාළ තොරතුරු වෙත ප්‍රවේශ වීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් සෑම ප්‍රසම්පාදන ව්‍යාපෘතියකටම සර්වපාක්ශික අනුමැතියක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 69ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 666ක් වැය කර තිබේ.

Exit mobile version