රටේ ජනාධිපතිවරයාට තිබෙන අසීමිත බලය හමුවේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නැති තරම්ය. එවැනි බලයක් තිබෙන ජනාධිපතිවරයාගේ මුදල් වියදම් කිරීමේ ක්‍රියාකලාපය පිළිබදව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක රජයෙන් දැඩි මූල්‍ය විනයක් ඉල්ලා, ඒ ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ය.
ඔහු ඇතුළු විවිධ මන්ත්‍රීවරුන් ඉතාම වැදගත් කරුණු පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නත් ඒවා බීරි අලින්ට වීණා වයන්නා සේ බැව් නිරන්තරයෙන්ම දක්නට තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ ක්‍රියාවලියට පමණක් රුපියල් බිලියන 1.3ක දැවැන්ත මුදලක් වෙන්කර ඇති බව පෙන්වාදුන් ජාජබ නායකයා, අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව, ජනාධිපතිවරයාගේ විදේශ ගමන්, ඉන්ධන, වාහන නඩත්තුව සහ හිඟ වැටුප් සඳහා රුපියල් මිලියන 200ක අතිරේක මුදලක්ද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන්, “මුල්‍ය විනය අනුගමනය කරන පළමු පුද්ගලයා ජනාධිපතිවරයා විය යුතු” බව ප්‍රකාශ කළ ඔහු, ගමන් බිමන් සහ වාහන සඳහා දැනටමත් අයවැයෙන් මුදල් වෙන්කර ඇති පසුබිමක තවත් රුපියල් මිලියන 200ක අතිරේක මුදල් ඉල්ලා සිටීම හෙළා දකින බව පැවැසීය.
එක්සත් රාජධානියේ සංචාර 04ක්, ජපන් සංචාර 02ක් සහ සති දෙකකට ආසන්න තවත් දිගු සංචාරයක් ඇතුළුව “දිගුම සංචාරය” ඇතුළුව මාස 14 ක් තුළ සංචාර 14 ක් ජනාධිපතිවරයා සිදුකර ඇති බව ජාජබ නායකයා පෙන්වාදුන්නේය.
සහල්, කිරිපිටි, ඩීසල් සහ වෛද්‍ය සැපයුම් වැනි මූලික අවශ්‍යතා මත එකතු කළ අගය මත බද්දට (වැට්) විශාල ලෙස එක්කරමින් තිබෙන අතරවාරයේ ජනාධිපතිවරයා මෙලෙස සිතූ සේ විදෙස් සංචාරවල නිරතවීම හෙතෙම දැඩි ලෙස විවේචනයට ලක්කළේය.
කෙසේ නමුත් රාජ්‍ය පාලනය තුල මේ වන විටත් ලංකාව ලක්ව තිබෙන අපහසුවෙන් රට ගොඩගැනීමට නම්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවශ්‍ය වේ. නමුත් එසේ යන්නේ කුමන අවශ්‍යතා වෙනුවෙන්ද, එසේ ගොස් මේ වන තෙක් රටට ලබා ගත් දේවල් මොනවාද යන්න පැහැදිලි කිරීම ජනාධිපති මාධ්‍ය ඒකකයේ වගකීම වේ. එය රටේ බුද්ධිමත් ජනතාව මෙන්ම බුධ්දිමත් නොවන ජනතාවද බලාපොරොත්තු වේ.