ජනාධිපතිපතිතුමනි, හමුදාවේ ප්‍රශ්න සොයා ජනාධිපති විමර්ශන කොමිෂමක් පත්කරමුද?

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්වල දුෂණයට බලපෑ ප්‍රධානතම ගැටලුව වන්නේ ජේෂ්ඨ හමුදා නායකයන් විනය ගරුක සහ නීතිගරුක නොවී, තම හිතුමතේට විවිධ නීතින් පනවා, සාධාරණ සහ විනය ගරුක නිලධාරීන්ට උසස්වීම් ලබා නොදී, ඔවුන්ව හමුදාවන් වලින් ඉවත්ව යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි. ⁣මෙම නීතිවිරොදී උසස්වීම් ලබා දීමේ ක්‍රමය නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද විශාල ප්‍රමාණයක් හමුදාවන්හි තත්වයන් පිළිබදව කනගාටුවෙන් සිටිති. එසේම සක්‍රීය හමුදා සාමාජිකයන්ද මෙම තත්වය නිසා දැඩි ලෙස කලකිරී තම රාජකාරිය සිදු කරති.

මෙම ගැටළුව ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බව නුගත්, ආත්මාර්ථකාමී හමුදා නායකයන් තේරුම් ගෙන නැත. සමහර හමුදා නායකයන් උපාධි පිට උපාධි හදාරා තිබුණත්, සමාජ විද්‍යාව, සමාජ සංවර්ධනය හෝ නීති විද්‍යාව ඉගෙන ගෙන නැත. ආයතනයක් යහපත් ලෙස පාලනයට වීමට නම් ඒවා නිසි ලෙස ඉගෙන ගෙන දදේශාභිමානී අනාගත පරපුරක් නිර්මාණය කල යුතුය. ලොකු නීති පාඩම් ඉගෙන නොගත්තත්, අඩුම තරමින් හමුදා පනත් වල පෙන්වා දෙන ජේෂ්ඨ තත්වයට අනුව ආයතනයක උසස්වීම් ලබා දීමටවත් ඔවුන් උගත් විය යුතුය. ජේෂ්ඨ තත්වය මනින ප්‍රධාන ඒකකය වන්නේ හමුදාවන් වලට බැදුණු පිළිවෙල වේ. ඒ හා සමගම ඔවුන් ඒවා තේරිය යුත්තේ කෙසේද යන්නද විවිධ නීති සහ විනිශ්චිත නඩු තීන්දු වලින් දීර්ඝ ලෙස පෙන්වා දී තිබේ.

යුද හමුදා පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදාපති විකුම් ලියනගේට නියෝග කර තිබේ. ඒ බව පුවත් වාර්ථා ගණනාවක්ම තිබෙන අතර ලසන්ත රුහුණගේ විසින් එය අනිද්දා පුවත්පතටද වාර්තා කර තිබේ

ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ඔහුට සිදු කළ අසාධාරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝග යට ලක්කරමින් යුධ හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 4/24 විශේෂ පෙත්සම සම්බන්ධයෙන් පෙබරවාරි 01 දින තීන්දුව ලබා දෙමින්ය.

අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් නියෝග කර තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවිර 2021 ජනවාරි 01 වැනිදා සිට මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම, ඒ අනුව ඔහුට හිමි ජ්‍යෙෂ්ඨත්වය පිහිටුවීම. ජ්‍යෙෂ්ඨත්වය අනුව පාබල රෙජිමේන්තු අධිපතිකම ලබාදීම, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව යුද හමුදාවේ සුදුසු ධුරයකට පත් කිරීම, ඔහුට හිමි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබා දෙන ලෙසය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් ලබා දී තිබෙන අතර අභියාචනාධිකරණ නියෝගය එම දින සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.

අභියාචනාධිකරණය බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව 2023 නොවැම්බර් 23 වනිදා ලබාදී තිබූ අතර එය අභියාචනා නොකරන ලෙස නීතිපතිවරයාගෙන් මෙන්ම යුද හමුදා නීති ප්‍රධානියාගෙන් උපදෙස් ලැබී තිබුණත් යුද හමුදාපතිවරයා සිය තනි මතය අනුව එම අභියාචනය ඉදිරිපත් කර තිබු බව ඔහු වාර්ථා කර තිබේ.

දශක කිහිපයක් තිස්සේ පවතින මෙම තත්වයන් මෙම හමුදාවල් තුනම විනාශ කිරීමට සමත්ව තිබේ. එබැවින් වහ වහා මේ පිළිබඳව සොයා බලා ඉදිරියේදී එවන් කටයුතු වැලැකිවීම සඳහාත්, මෙම තත්වයන්ට හමුදාවන් පත්කකර මේ වන විට විශ්‍රාම සුවයෙන් පවා සිටින හමුදා නායකයන්ට පවා නීතිය ක්‍රියාත්මක කල හැකි ලෙස තොරතුරු ⁣ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් හෝ වෙනත් විමර්ශන සභාවක් අවශ්‍ය ව තිබේ.

ඒ පිළිබඳව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම, ආරක්ෂක උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතු බව අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. සියල්ල අරාජික වෙමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ භටයන් ද විවිද දේශපාලන කඳවුරු වලට බෙදී ගොස් සතුරන් බවට පත්වීම වර්තමානයට හොඳක් ලෙස දුටුවත් අනාගතය මහා විනාශයකට මුලක් බව අප අවධාරණය කරන්නෙමු.

Exit mobile version