ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව තිබෙන ජන අරගලය විශේෂ වන්නේ ජනතාවගෙන් 80% කටත් වඩා එකම අරමුණක් වෙනුවෙන් එකට එකතු වී තිබීමයි. අප සැමදා ලියන්නා සේ අරගලයේ හැඩය, පාට, දිග, පළල එකිනෙකට වෙනස් නමුත් කිසිවක් හදුනා ගැනීමට තරම් ආරක්ෂක අංශ සමත්ව නැති බවද පැහැදිලිය.
සමහර බුද්ධිමත් ආරක්ෂක අංශ නිලදාරීන් තම බුද්ධිය මෙහෙයවා මේ ගැන යම් යම් අභිමතයන් වලට පැමිණ සිටිය හැකිය. ඒ ඔවුන්ගේ දැනුම, බුද්ධිය ඔස්සේ විනා අත් දැකීමෙන් නොවේ. මෙවැනි එකාබද්ධ මෙන්ම රජය පාර්ශ්වයෙන් එකක් කලොත් එයට විරුද්දව දහස් ගණනක් නැගී සිටින යුගයක් මෑත කාලින ඉතිහාසයේ සිදුව නැති බැවින් මෙවැනි කාරනා ඉගෙන ගැනීමට නම් ලෝක ඉතිහාසයට යා යුතුය. දේශපාලන අධිකාරියේද 90% කටම මෙය නිසි ලෙස වටහා ගැනීමට නොහැකි අතර එය හදුනා ගත්තේ නම් පොලිස් නිලධාරීන් අසරණ නොකර යම් ඉක්මන් තීරණයක් ගෙන මේ තත්වය වෙනස් කිරීමට නොහොත් ජනතා ඉල්ලීම් වලට ඇහුන කන් දීමට කටයුතු කල යුතුය.
මේ ජනතා අරගලය නිසා පොලිස් නිලධාරීන් තම රාජකාරිය සිදු කරනුයේ දැඩි පීඩනයකිනි. පොලිස් ස්ථානය ආසන්නයේ රාජකාරී සිදු කරන නිලධාරීන්ට මෙම තත්වය විශාල ගැටලුවක් නොවේ. තමන් ලබා ගන්නා වැටුපෙන් තුන් වේලක් අහාර ලබා ගන්නේ මුදල් ගෙවමිනි. වෙනදා මුළු මාසයටම අහාර සදහා රුපියල් දස දහසක් අහාර සදහා වියදම් කලේ නම් දැන් රුපියල් විසි දහසක් වියදම් කල යුතුය. පාසල් යන දරුවන් සදහා වියදමද දැන් දෙගුණයකින් වැඩි වී ගොසිනි. වෙනදා එක් දරුවෙකුට මසකට පන් දහසක් වියදම් කලේ නම් දැන් දස දහසකි. බොහෝ පොලිස් නිලධාරීන් විවිධ ණය මුදල්ද ලබාගෙන ඇත. වෙනදා තම යතුරු පැදිය සදහා මාසික තෙල් වියදම රුපියල් පනදහසක් වුයේ නම් දැන් එය දස දහසද පසු කරගෙන ගොසිනි.
ඒ අතරේ පොලිස් නිලධාරීන්ගේ බැරැක්ක පිරි ගොසිනි. විවේක කාලය තුල නිදා ගැනීමට ස්ථාන නැත. ඇදුමක් සෝදාගෙන එල්ලා තැබීමට තැනක් නැත. එයට හේතුව ඔවුන්ගේ නිවාඩු අවලංගු කර තිබීමයි. හමුදා කදවුරු වල මෙන් විශාල බැරැක්ක හෝ නිවාස පොලිස් ස්ථාන වල නැත. පොලිස් ස්ථාන වලට එසේ අවශ්‍යද නැත. පැය 8 ක සේවා මුරයට හුරුව තිබු සහ කෙසේ හෝ තම නිවෙස් වල ප්‍රශ්නද විසඳා ගනිමින් රාජකාරිය කල ඔවුන් මේ වනවිට ආර්ථික වශයෙන්ද පවුල් සංස්ථාව ලෙසද යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙමින් සිටිති.
අප විශේෂයෙන්ම අවධානය යොමු කල යුත්තේ පොලිසියට තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකිව “ගිරයට අසු වූ පුවක් ගෙඩිය” සේ හිර වී තිබෙන බවයි. අප කුමන ආකාරයකින් පොලිසිය දෙස බැලුවද, ඔවුන් දේශපාලනික වශයෙන් හිර වී තිබෙන බවද වටහා ගත යුතුය. “ශ්‍රී ලංකා පොලීසිය සහ ජනතාව යනු එකම දම්වැලේ පුරුක් දෙකකි”. සැබෑ අරගලය අස්සේ සමාජ විරෝදී කටයුතු සිදු කරන කණ්ඩායම්ද පොලිසියෙන් පලි ගැනීම සදහා මේ අවස්ථාව හොඳම අවස්තාව කරගෙන සිටි. අරගලය වෙනුවෙන් පොලිස් ආරක්ෂාව යෙදවීම නිසා සමහර පොලිසි වල ඔවුන්ට හිමි සාමාන්‍ය රාජකාරීන් කර ගැනීමට නොහැකි වීම නිසා සමාජය තුල අපරාධ වැඩි වෙමින් තිබේ. ඉදිරිය තව තවත් වැඩි වන අතර විසදිය නොහැකි තරමට සමාජ ගැටළු වැඩි වී මෙරට ඉතියෝපියාවටත් වඩා පහලටම වැටෙන බව නියතයි.
එබැවින් සියලුම දේශපාලන බලවතුන් අරගලයේ සැබෑ ගැඹුර හැකි ඉකිමනින් හදුනා ගැනීමට කටයුතු කර දේශපාලන ස්ථාවරත්වය ඇතිකරමින් ජනතා ආර්ථිකය ඉක්මනින් ගොඩ නැගිය යුතුය. එසේ නොමැතිව දිගින් දිගටම අල්ලාගෙන සිටීමෙන් ආරක්ෂක අංශද ජනතාවද පීඩාවට පත් වීමෙන් කිසිවෙකුත් නොසිතු දැවැන්ත අපරාධ සිදු වීමට ඉඩ තිබේ.