ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය ඇතුළු රජයේ අංශ විසින් විවිධ ව්‍යාපෘති යටතේ වසරකට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය කළද ඉන් එම ශාක පාලනයක් සිදුවී නැතැයි අනාවරණය වී තිබේ .
මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම නිසා මේ වනවිට ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහන් රැසක් අතරමග නැවතී ඇති බව වාර්තා වේ .
මෙරට තුළින් ප්‍රමුඛ ආක්‍රමණශීලී ශාක විශේෂ 20 ක් හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳව පරිසර මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය විසින් එම අමාත්‍යාංශයේදී ඊයේ (05) පවත්වන ලද වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය වූ බව සදහන් .
මෙහිදී මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර ප්‍රකාශ කර සිටියේ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අංශ විසින් වාර්ෂිකව විශාල වියදමක් දරන බවත්, යාපනය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්‌යේෂණයකට අනුව ජපන් ජබර යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කෙරුණු බවත් ය.
පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මෙහිදී සදහන් කර සිටියේ දකුණු ආසියාතික කලාපයටම ජපන් ජබර අද වනවිට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන නමුත් ඉන්දියාව ඇතුළු රටවල් ජපන් ජබර යොදාගෙන විවිධ නිෂ්පාදන සිදුකරන බවත්, මේස පුටු,සාරි, සත්ත්ව ආහාර, බයෝ ගෑස් ආදිය නිපදවීමට ජපන් ජබර යොදා ගන්නා බවත්ය.
ඇතැම් රටවල ජපන් ජබර සැලඩ් එකක් ලෙසද භාවිතා කරන නමුත්, ජපන් ජබරවලට අධික ලෙස බැර ලෝහ උරාගැනීමේ හැකියාවක් පවතින බව ඇය වැඩි දුරටත් සඳහන් කරන ලදී .