ජල සම්පාදන මණ්ඩලයට අයත් PVC බට ප්‍රධාන කළමනාකරුගේ ඉඩමෙන් මතු වෙයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයට අයත් PVC බට එහි ප්‍රධාන කළමණාකරු විසින් අයතා පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

ඒ අනුව රත්මලාන ජල සම්පාදන ප්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (17) සිදු කළ වැටලීමකින් අනතුරුව බකමුණ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ ප්‍රධාන කළමණාකරුට අයත් බකමුණ – නිකපිටිය ගඟේ යාය ප්‍රදේශයේ ඉඩමක වගාවන් සඳහා ජලය ලබා ගැනීමට මෙම PVC බට යොදාගෙන තිබෙන බවට ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (17) විමර්ශන නිලධාරින් විසින් අදාළ වගා භුමිය නිරීක්ෂණය සඳහා පැමිණ තිබුණි.

එහිදී PVC බටවල සංකේත සහ අක්ෂර පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ ඒවා ජලසම්පාදන මණ්ඩලයට අයත් PVC බට බවයි.

මීට අමතරව කළමණාකරුගේ නිවස අවට පරික්ෂා කිරීමේදී සිමෙන්ති කොට්ට 05 ක් සොයාගෙන ඇති අතර ඒවා සහ PVC බට සාම්පල වැඩිදුර විමර්ශන සඳහා බකමුණ පොලීසියට භාර දී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේවන විට පත් වී තිබෙන අර්බුධකාරී තත්වයට දූෂිත දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය වගේම මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ද බලපා ඇති බව පැහැදිලිය.

Exit mobile version