ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ වාර්ෂික නිලවරණය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. එහිදී සභාපති, උප සභාපතිව , ජෙනරල් ලේකම් ,උප ලේඛම්, භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක ඇතුළු වෙනත් කමිටු සාමාජිකයන් තෝරාගැනීම සිදු විය.
නමුත් මෙම නිලවරණයේ දී කමිටු සාමාජික ලෙස ඉදිරිපත් වූ ඩබ්. ටී.ආර්. ප්‍රනාන්දු යන අය මෙම නිලවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝදී බව සදහන් කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ස්ථාපිත අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව, ඩබ්. ටී.ආර්. ප්‍රනාන්දු මහතා 2006 වර්ෂයේ දී කොරියාවේ පැවති කේ ආර් එච් කුසලාන තරඟාවලියේදී , 2016 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති ජුපිට්සු ලෝක කුසලාන තරගාවලියේදීද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණද අදාල ඉසව් වලට සහභාගී නොවී, එම රටවල් වලදී අතුරුදහන් වී තිබෙන බව පැමිණිල්ල තුල සදහන් වේ.
එම පැමිණිල්ලේ සදහන් පරිදි 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව එසේ රාජ්‍ය මුදල් භාවිතා කරමින් ජාත්‍යන්තර තරඟවලට සහභාගී වන බවට රජය සමග ගිවිසුම් ගතව එම රටවල් වලට ගොස්, හොරෙන් පැන යන අයවලුන්ට මෙවැනි නිලවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවද, 2016 10 27 වන දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ 5 (4) (ණ) වගන්තිය තුලින්ද ඒ අයුරින්ම තහනම් කර තිබෙන බවද සදහන්ය.
රජයේ මුදල්වලින් විදේශගතව , අදාල තරග ඉසව් වලට සහභාගී නොවී, රටට අපකීර්තියක් ගෙන දුන් මෙවැනි පුද්ගලයන් ක්‍රීඩාවක පරිපාලනයට එක් කිරීමෙන් ක්‍රීඩාවේ පරිහානිය සිදුවන බවද වැඩි දුරටත් පැමිණිල්ල තුල සදහන් වෙයි.
රාවණා සංස්කාරක සටහන
පාර්ලිමේන්තුව මගින් පනවා ඇති පනතක සදහන් වන කරුණක් නොකර හැරීමට නිලවරණ කමිටුවකට නීතියෙන් අවසර නොලැබේ. රටක නීතියක් පවතින්නේ එනිසාය. පැමිණිල්ලට අනුව කාරණාව සත්‍ය නම් පසු පනතකින් හෝ එම නීතිය වෙනස් වී නොමැති නම් නිලවරණ කමිටුවකට එය වෙනස් කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් නොලැබේ. ක්‍රීඩා අමත්‍යංශය තුල හෝ වරින් වර හෝ එම නීතීන් වෙනස් කර , කමිටුවකට බලය ලබා දී තිබුනද , පාර්ලිමේන්තුව මගින් පනවා තිබෙන නීතීන් අබිභවා ගොස් වෙනත් නීතීන් වලට යටත්ව කටයුතු කිරීමට නිලවරණ කමිටුවකට කිසිදු බලයක් නොලැබේ. එසේ කරන්නේ නම් ශ්‍රී ලංකාවට නීතියක් හෝ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවේ.
එසේ කටයුතු කර තිබෙන්නේ නම් එම කමිටුවට විරුද්දව ද ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාද නඩු පවරා දඩුවම් ලබා දීමට හැකිය. ලංකා දණ්ඩ නීති සංග්‍රහය කියවන ඕනෑම කෙනෙකුට එය මනාව වටහා ගැනීමට හැකියාව තිබේ. නීතිය නම් එයයි. එයට අනුව හැසිරීම සියලු බලධාරීන්ගේ වගකීම වේ.