“ඩීසල් ,පැට්‍රල් ලග තබා ගැනීම වරදක් නොවේ”, අල්ලාගෙන යන ඩීසල් ,පැට්‍රල් ආපහු දෙන්නත් ඕනි. විකිණීම පමණක් වරදක් වේ. නීතිමය විග්‍රහයක්

“ඩීසල් ,පැට්‍රල් ලග තබා ගැනීම වරදක්ද?”පොලිසියට එහෙම ලග තබා ගත් කෙනෙක් උසාවි ගේන්න පුලුවන්ද?” යාන් ප්‍රශ්නය මේ දිනවල දැඩි කතා බහකට ලක්ව තිබේ. මේ ඒ පිලිබදව කෙරෙන විග්‍රහයකි. 

නිසි අවසරයකින් තොරව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සහ ඊට අදාළ වන නෛතික ප්‍රතිපාදන.

මේ සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් සංස්ථා පනතෙහි (Ceylon Petroleum Corporation Act no 28 of 1961) සඳහන් වන අතර, එකී ප්‍රතිපාදන යටතේ වන 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතෙහි 69 වන වගන්තිය ප්‍රකාරව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ හැකිවන බවට වන ගරු නීතිපතිතුමන්ගේ නිර්දේශ 2022/07/ 29 දිනැතිව පොලිස් නීති කොට්ඨාශය වෙත ලබා දීමක් සිදු කොට ඇත.

ඒ යටතේ ඉහත කී පනතෙහි 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතේ 69 (1) වගන්තිය ප්‍රකාරව  පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම සහ බෙදාහැරීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදු කළ හැකි වන බව බවත්, අනවසරයෙන් ඉහත කී ක්‍රියාවන් සිදු කරලීම ඒ අනුව වරදක් වන බවත් දක්වනු ලැබ ඇත.

එසේම එකී පනතේ 69 (2) වගන්තිය ප්‍රකාරව ඊට අදාළව වරදකරු වන තැනැත්තෙකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකු විසින්,

(1) පළමු වතාවට අදාළ වරද සිදු කරන අවස්ථාවක වර්ෂයක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් (1000/-) නොඉක්මන දඩයක් හෝ සිර දඬුවම සහ දඩය යන දෙකම පැනවිය හැකි වන අතර,

(2) ඉන් පසු අවස්ථාවක අදාළ වරද සිදු කොට ඇත්තේ නම්, වර්ෂ දෙකක් නොඉක්මවන කාලයක් සඳහා වන සිර දඬුවමක් පැනවීම සහ ඊට අතිරේකී වශයෙන් රුපියල් දෙදහසක් (2000/-) නොඉක්මවන දඩයක් පැනවීම සිදු කළ යුතු වේ.

තවද, එකී පනතේ 69 (3) වගන්තිය ප්‍රකාරව ඉහත කී වැරදි අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි ප්‍රකාරව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි හෙවත් සංඥය වැරදි (Cognizable offences) වශයෙන් දක්වනු ලැබ ඇත.

ඒ අනුව ඉහත කී පනතේ 69(1) වගන්තිය ප්‍රකාරව, පෙට්රල් හෝ ඩීසල් විකිණීම, විකිණීම සඳහා ආධාර හෝ අනුබල දීම, විකිණීමට තැත් කිරීම, විකිණීමට සූදානම් වීම හෝ ඊට අදාලව කිසියම් ක්‍රියාවක් සිදු කරලීම යටතේ නඩු පැවරිය හැකි වන්නේ වුවද “විකිණීම සඳහා ළඟ තබාගැනීම” වශයෙන් චෝදනාවක් ඉදිරිපත් කළ නොහැක. (මක්නිසාදයත්, එකී පනත ප්‍රකාරව පෙට්රල් හෝ ඩීසල් සීමාවකින් තොරව ළඟ තබාගැනීම වරදක් වශයෙන් සඳහන් කොට නොමැති බැවිනි.)

තවද, මේ සම්බන්ධයෙන් Petroleum Product (Regulation and Control of supplies) Asct no. 34 of 1979 පනතෙහි 15 වැනි වගන්තිය බලාත්මක කරමින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරලීම හෝ සංශෝධිත පරිදි වූ 1887 අංක 6 දරණ ඛනිජතෙල් ආඥා පනතෙහි ඛනිජ තෙල් සන්තකයෙහි තබා ගැනීම සම්බන්ධයෙන් වන සීමා ගැසට් පත්‍රයෙහි පල කරලීම මගින් විධිමත්ව බලාත්මක කරලීම  වඩාත් සුදුසුම ක්‍රමවේදය වුවද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය යොමුවී නොමැත.

ඒ අනුව ඉහත කී ප්‍රකාරව ලංකා ඛනිජ තෙල් සංස්ථා පනතෙහි 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතෙහි 69 වන වගන්තිය ප්‍රකාරව වන වරදක් ඔප්පු කරලීම සඳහා උපාය දූතයෙකු භාවිතයට ගැනීම පොලීසිය විසින් සිදුකළ යුතු වන අතර, නොඑසේ නම් එවැනි චෝදනාවක් ඔප්පු කරලීම ඉතාමත් අපහසු කාර්යයක් බවට නිරායාසයෙන්ම පත්වේ.

තවද, වරද ඔප්පු වන ලද විටෙක, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 38 වන පරිච්ඡේදය ප්‍රකාරව පෙට්‍රල්, භූමිතෙල් හෝ ඩීසල් රාජසන්තක කළ නොහැකි වන්නේ වුවද, මහේස්ත්‍රාත්වරයකුහට එකී පරිච්ඡේදය ප්‍රකාරව, එකී නඩු භාණ්ඩ සම්බන්ධයෙන් නැවත වරදකට ඒවා භාවිතයට ගැනීම වැළැක්වීම පිණිස සුදුසු  නියෝගයක් ලබා දීමේ ඇති බලතල යටතේ ඊට අදාලව තම අභිමතය භාවිතයට ගත හැක.

උදා- විනාශකිරීම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භාරදීම.

එසේම, නඩු විභාගය අවසානයේදී චූදිත  නිවැරදිකරු වන බවට තීරණය වූ විටෙක, අදාල පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් චුදිත වෙත නැවත මුදාහැරීම සිදුකල හැක.

කෙසේ නමුදු, මේ යටතේ ඇතිවන ප්‍රායෝගික ගැටලුව වනුයේ විභාගය සඳහා ගතවන කාල සීමාව යටතේ අදාල පෙට්රල්, භූමිතෙල් හෝ ඩීසල් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීම වන බැවින්, ඒ සඳහා විසදුමක් වශයෙන් වෙළඳපළ වටිනාකම නඩුවෙහි බැරට තැන්පත් කරලීම යටතේ, අදාල පෙට්‍රල්, භූමිතෙල් හෝ ඩීසල් සැකකරු වෙත අදාළ ඉල්ලීම පරිදි මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි වන අතර, මක්නිසාදයත් පෙට්‍රල් හෝ ඩීසල් යනු නීති විරෝධී ද්‍රව්‍යයක් නොවන බැවිනි.(පස් හා වැලි ප්‍රවාහනයට අදාළව පවතින නඩු වලදී නඩු විභාගය අතරතුර පස් සහ වැලි සමග වාහනය මුදාහැරීමට අදාළව මේ ආකාරයෙන් කරුණු සලකා බැලීම අධිකරණයන් ඉදිරියෙහි සාමාන්‍යයෙන් සිදු කෙරේ.)

(ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සකසා තිබෙන බව කියවෙන ලිපියකි. නමුත් මෙම ලිපිය ඔහු විසින්ම සැකසුවේද යන්න අප විසින්ම තහවුරු කර නොමැත. මෙහි සියලුම කරුණු පාහේ සත්‍ය ලෙස අපට පෙනෙන බැවින් මහජන සුබ සිද්ධිය සහ රාජ්‍ය පාලනය පහසුකරගැනීම වෙනුවෙන් පලකරන ලදී. )

Exit mobile version