ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබෙන්නේ නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමටයි.
වාර්තා වන ආකාරයට විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදු කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසා තිබේ.
ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බව සඳහන් වන අතර කෙසේ වෙතත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකිවේ.
මෙම ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශ්ව විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම ගත වූ දින තුනක කාලය තුළ මත්ද්‍රව්‍ය කිළෝග්‍රෑම් 20ක් පමණ “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සේවා සැපයුම් ක්‍රමවේදය හරහා මෙරටට ගෙන්වා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම කරුණු ද එම ක්‍රමවේදය අත්හිටුවීමට හේතු වී තිබේ.
ශ්‍රි ලංකා රේගුව පවසන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම වර්තමානයේ දී මෙම ක්‍රමවේදය හරහා සිදු කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සිදු කරන නිසි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් අනතුරු ව මනා විනිවිදභාවයකින් යුතු නියාමනයකට යටත් ව අදාළ ක්‍රමවේදය යළි ලබන වසරේ දී ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති බවත් ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් අදාළ තීරණය හේතුවෙන් මෙම ක්ෂේත්රයේ රැකියාවන්හි නිරත පෞද්ගලික ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි අසීරුතාවට පත්වන බව එක්සත් ගමන් භාණ්ඩ සේවා සපයන්නන් ගේ සංගමයේ සභාපති පණ්ඩුක රත්නායක මහතා පවසා තිබේ.
මේ අතර, මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් තීරුබදු ප්රතිලාභ ඉහළ නැංවීමේ ක්‍රමවේදය සකස් කිරීමට ශ්‍රි ලංකා රේගුව තවදුරටත් අපොහොසත් වී ඇති බව කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.