තැපැල් කාර්‍යාලය සංචාරක කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමෙන් තැපැල් කටයුතු වලට බාධාවක් නැහැ. දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ!

නුවරඑළිය  නගරයේ ප්‍රධාන තැපැල් කාර්‍යාලය පවත්වා ගෙන යන ඉංග්‍රීසි සමයේ ඉදිකළ පෞරාණික ගොඩනැගිල්ල තුල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැළසුම් ඉදිරිපත් වී ඇති අතර එම කටයුතු සිදු කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරි වලට බාධා නොවන අයුරින් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා පැවැසීය .

නුවරඑළියට පැමිණෙන විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් කැමැත්ත දක්වන්නේ මෙම ගොඩනැගිල්ල තුල රැඳී සිටීමට බැවින් තැපැල් කටයුතු වලට බාධා නොවන අයුරින් එම ගොඩනැගිල්ලේ එම පහසුකම් වැඩි දියුණු කිරීම මගින් නුවරඑළියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකි බවද දිස්ත්‍රික් ලේකම් වරයා පැවැසීය .

මෙම ගොඩනැගිල්ල සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කළ යුතු බවට යෝජනා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

මේ අතර ජනාධිපතිවරයාගේ නුවරඑළිය සංචාරයේදී ඉදිරිපත් වු යෝජනා වල ප්‍රගතිය  විමසා බැලීම නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී  සිදු කෙරුණු අතර එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය දා (13) එම කමිටු රැස්වීම පැවැත්වුණි .

සරත් සමරනායක.

Exit mobile version