දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක් .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර්  4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබූ බව වාර්තා වේ.

කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර, රෝහල්ගත කළ කුඩා ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කළ අතර ඒ අතර බරපතළ තත්ත්වයෙන් සිටි රියදුරු මෙලෙස මියගොස් ඇත.

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරියක් මෙලෙස හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබිණි.

අනතුර සිදු වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලණිගම රථවාහන ඒකකයේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විනාඩි 20ක පමණක් මෙහෙයුමකින් අනතුරුව යාන්ත්‍රික උපකරණ භාවිතා කරමින් කුඩා ලොරිය තුළ සිරවී සිටි පුද්ගලයන් තිදෙනා දැඩි වෙහෙසක් දරා ලොරියෙන් පිටතට ගෙන තිබේ.

කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අනතුරින් කුඩා ලොරි රථයට දැඩි හානි සිදුව තිබුණු අතර, අනතුරින් මියගියේ 55 හැවිරිදි කමල් සොයිසා නැමති රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version