දකුණේ ගුරුවරුන්ට පාඩමක් කියා දෙන යාපනයේ ගුරු දෙවිවරුන්.

උතුර නැගෙනහිර ලේ විලක් බවට පත්කළ කුරිරු යුධ සමය අවසන් වන්නේ 2009 වර්ෂයේ දී බව ඔබ සියල්ලන්ට මතක ඇතුවා විය හැක. 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් යනු 2009 වර්ෂය වන විට වයස අවුරුදු 04ක් 05ක් පමණ වූ  පුංචි පැංචන් විය යුතුය.

යුධ සමයේ අත්දැකීම් සමග ලොව එළිය දකින මේ දරුවන් වසර ගණනාවක් මෙම යුද්ධයේ අතුරු ප්‍රතිඵල විඳියි. ඔවුන්ගේ නිවෙස් මෝටාර් වලින් බෝම්බ වලින් සුනු විසුනු වී තිබුණා විය හැක. වෙඩි හඬට බයේ කැලෑ වැදී දිවි බේරා ගැනීමට සටන් කළා විය හැක. යුද්ධය නිම වී ද ජීවත් වීමට සිය මව්පියන් සමග විශාල ජීවන අරගලයක යෙදෙන්නට ඇත. කෑමට රසමුසු හෝ නිදන්නට සුව යහන් ඔවුන්ට නොතිබෙන්නට ඇත.

මෙවැනි කටුක අත්දැකීම් රැසකින් පෝෂණය වූ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් මෙවර 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ඨ ගණයේ ප්‍රතිඵල රැසක් වාර්තා කිරීමට තරම් සමර්ථයින් විය.කටුපඳුරු සිප ගනිමින් ඒ කටුකත්වයට අභියෝග කරමින් මොවුන් මේ පැමිණ ඇති ගමනට සහය දැක්වූයේ ඔවුන් වගේම පීඩිත දෙවිවරුන් වැනි ගුරුවරුන්ගේ සහයෝගයෙනි.

ප්‍රතිඵල 99%ක් ලෙස සටහන් කරමින් A9 සාමාර්ථ 62ක්, A8 සාමාර්ථ 46ක් සහ A7 සාමාර්ථ 29ක් ලෙස සිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන ඉතාමත් ආඩම්බරයෙන් යුතුව යාපනය හින්දු විදුහල විසින් පෙන්නුම් කර තිබේ.මෙම ප්‍රතිඵල සටහන සම්බන්ධයෙන් අප මීට ඉහත දී ඔබ දැනුවත් කළේය.

රටේ ඇති දුෂ්කරම පළාතක් සහ ජනතාව ඉතා වැඩි වශයෙන්ම පීඩා විඳින යාපනයේ ම ඔවුන්ගේම ගුරුවරුන් වීම විශේශත්වයක්.දමිළ ද සිංහල ද මුස්ලිම් ද හෝ වෙනයම් ජාතියක ද යන්න දක්ෂතාවයට කිසිසේත් අදාළ නොවේ.

මෙවැනි විශිෂ්ඨ ප්‍රතිඵලයක් වාර්තා කිරීමට උර දුන් ගුරු මඩුල්ල මෙන්ම එම ගුරු මඩුල්ල පිටුපස සිටින විදුහලේ ප්‍රධාන පාලක ක්‍රියාවලිය ද ඉතාමත් වැදගත් වේ.මෙම විදුහලේ විදුහල්පතිගේ  සිට සියලුම ගුරුවරුන් ඉතාමත් දක්ෂ ගුරුමඩුල්ලක් බවට ඔවුන්ගේ සුදුසුකම්වලින් ම තේරුම් යනු ඇත.

උදාහරණ වශයෙන් මෙම යාපනය හින්දු විදුහලේ විදුහල් පතිගේ සිට වැඩබලන විදුහල්පතිවරුන් දක්වා වන නිලධාරී මඩුල්ලේ සියල්ලන්ම පාහේ නිකම්ම උපාධිධාරීන් පමණක් නොවේ. ඔවුන් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ද පමණක් නොවේ. ඔවුන් පශ්චාත් උපාධි, ගෞරව උපාධි, විද්‍යාවේදී ,කලාවේදී, නීති උපාධි , ආදී විවිධ විෂය පථයන් අතික්‍රමණය කරමින් ලැබගත් දැනුම් සම්භාරය නියෝජනය කරන සුදුසුකම් රැසකින් යුක්තය. එහෙත් දකුණේ අපට එසේ දැකිය නොහැකිය . සිටි නම් ඒ කලාතුරකින් විය හැකිය.

Exit mobile version