රටක් හදන්න හෝ තිබෙන තැනින් ඉදිරියාට ගැනීමට දර්ශනයක් තිබිය යුතුය. නිවසකට අදායම නොලැබුනොත් නිවසේ මිනිසුන් කුස ගින්නේය. නිවසේ තිබෙන මුදල් පාලනය කරගන්නට නම් නිවසේ වියදමට අවශ්‍ය මුදල් නිවසට ලබා ගැනීමට කටයුතු කල යුතුය. නිවසේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට කටයුතු කල යුත්තේ නිවසට ලැබෙන ආදායමට අනුවයි. නිවසේ දරු දැරියන් අනවශ්‍ය ලෙස වියදම් කරන්නේනම් නිවසේ මුදල් අඩු වෙමින් ගැටළු වලට මුහුණ දෙමින් දරිද්‍රතාවය රජ කරනු ඇත. ඒවා නිසි ලෙස පාලනය කිරීම නිවසේ වැඩි හිටියන්ගේ වගකීම වේ. නිවස ඇතුලත සිටින පුද්ගලයන්ගේ වියදම් ඇතුළු දේ කප්පාදු කලහොත් හෝ ඔවුන්ගේ වියදමට අවශ්‍ය මුදල් ලබා නොදීමෙන් ඔවුන්ගේ අනාගතයට සිදුවන්නේ කුමක්දැයි සිතා බලා කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීම නම් රටක් ලෙස කටයුතු කල යුත්තේ කෙසේද යන්න ඉතාම සරල න්‍යාය තේරුම් ගැනීමට නොහැකි පාලක පන්තියක් අපට දායාද වී තිබේ.
මේ වන විට විදුලි බිලද සියයට සියයකින් වැඩි වී තිබේ. වැඩි නොවූ දෙයක් තිබේ නම් ඒ දේශීය වෛද්‍යවරුන්ගේ බෙහෙත් පමණි. A4 කොළ බණ්ඩලයක් රුපියල් 2500 කි. සබන් කැටයක් දැන් ඩොලර් බාගයකටත් වඩා වැඩිය. මේ රටේ පාලක පන්තිය වන දේශපාලකයන් මෙන්ම මාණ්ඩලික ශ්‍රේණියේ නිලදාරීන් කුමක් කරන්නේද යන්න ගැටළු සහගතය. ගැටලුව කුමක් සේද යත් මෙසේ භාණ්ඩ මිල වැඩි කිරීමෙන් ව්‍යාපාරික ස්ථාන පවා වසා දැමීමට සිදු වේ. භාණ්ඩ මිල වැඩි වූ පමනින් මිනිසුන් සියල්ලම මිලදී නොගෙන සිටින බවවත් තේරුම් ගැනීමට නොහැකි පාලකයන් මේ මිරිකන්නේ තමන්ගේම බෙල්ල බව නොතේරීම ගැන කාට කියන්නද?.
දේශපාලකයන්ගේ නිවාස වැටලු ජනතාව රාජ්‍ය නිලධාරීන්ගේද නිවාස වැටලීමට කටයුතු කිරීම නුදුරේදීම සිදුවන බව මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සේම පාලක පන්තියේ මන්ද බුද්ධික තීරකයන්ට නොතේරිමට වඩා පවතින්නේ ඔවුන්ගේ කොමිස් ගැහිල්ලේ ඉලක්කය පමණක් බව ජනතාව තේරුම් ගෙන තිබෙන බැවින් එසේ සිදුවනු ඇත.