දරුවන් අතර පැතිර යන තවත් රෝගී තත්ත්වයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් විසින් මේ වන විට යළි හිස ඔසවමින් පවතින කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ දරුවන්ට ඇති විය හැකි තවත් බරපතල රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත.

දරුවන්ට “මිස්සී” නමැති රෝගී තත්ත්වය ඇති වුවහොත් ඉන් දරුවන් මියයාමට පවා හැකියාව පවතින බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

මෙම රෝගී තත්ත්වය බහු ඉන්ද්‍රීය ආසාදන රෝගී තත්ත්වයක් වන බවත්, එය වැළඳුනහොත් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් අඩපණ වීමට හැකියාව ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුනහොත් ඉන් යම්තාක් දුරට එය පාලනය කිරීමේ හැකියාවක් පවතින බව ද ඔහු පෙන්වා දී ඇත.

දෙමාපියන්ට රෝගය වැළඳී තිබී ඉන් දරුවන්ට ද ආසාදනය වුවහොත් සති දෙකක් හෝ මාස දෙකක් වැනි කාලයක් තුළ දී දරුවාට උණගෙන, බෙල්ලේ වසා ගැටිති ඉදිමී, ඇස් කහ වී, හුස්ම ගැනීමේ අපහසුතා හටගැනීම , මුත්‍රා පිටවීම අඩුවීම සහ මුත්‍රා සමග ලේ පිටවීම වැනි තත්ත්වයන් හටගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම එහි දී  හදවතේ වේගය අඩු වී කම්පනයන් පවා ඇතිවීමේ හැකියාව පවතින බව ද සඳහන් වේ.

Exit mobile version