දළදා මාලිගාව රකින්න බැරි මහනායක හිමියෝ දේශපාලන නායකයන්ට දොස් තබයි!

යමෙක් වරදක් කරන්නේ නම් එයට දඩුවම් ලබා දීමට ඉඩ නොදී, වරදක් නිවැරදි කරගැනීමට ඉඩ දීම බෞද්ධ දර්ශනයේ තිබෙන උතුම් ගුණයකි. එසේ වැරදි ගණනාවක්ම සිදුකල බවට චෝදනා ලබා තිබෙන වර්තමාන දියවඩන නිළමේවරයාට තිබෙන වැරදි වලට, දඩුවම් ලබා දීමෙන් ඔහුව බේරා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ මහනායක හිමිවරුන් කටයුතු කරන ලදී. ඔහුව එසේ බේරාගත්තත්, ඔහුගේ වැරදි වලට එරෙහිව කතා කරනා හිමිවරුන්ට එරෙහිව කටයුතු කිරීමටද එම මහනායක හිමිවරුන් කටයුතු කරන ලදී.

එසේ වුවත්, වර්තමාන දියවඩන නිලමේවරයා යටතේ බෞද්ධ ධර්මයටත්, බෞද්ධ සාසනය පවත්වාගෙන යාමට තිබෙන නින්දගම්වලට අයත් ඉඩකඩම් මෙන්ම වස්තුන්ද බෞද්ධ ජනතාවට අහිමිකිරිමටත්, හෙළ සංස්කෘතියට දැඩි හානියක් සිදුකිරීමටත් කටයුතු රාශියක් සිදු විය. නමුත් ඒවාට එරෙහිව තම ශ්‍රී මුඛයෙන් වචනයක්වත් ප්‍රකාශ නොකරන උන් වහන්සේලාගෙන් මල්වතු මහනායක හිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ රටේ ආණ්ඩුවට දොස් තබා තිබේ.

නව වසරේ කිරි උතුරවා අළුත් ආකාරයට කටයුතු කරන බව කිවත්, ටික දිනකින්ම පරණ පරිදිම යලි කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ කල උන් වහන්සේ රටක ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බලාපොරොත්තු විය නොහැකි යැයිද පෙන්වා දි තිබේ. එසේ පෙන්වා දි තිබෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය උන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

මහානායක හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබුනේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව කියා බලයට පත් වූ පුද්ගලයන් එම පුටුවට ගිය පසු එය අමතක කළ බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී ද එම මාතෘකාව කරළියට ගෙන පසුව අමතක කරනු ඇති බවයි.

කෙසේ නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කල පමණින් මෙරට හොරු බිහිවීම නොනවති. ගෞතම බුදු රජාණන් වහන්සේ ගිය මග වන සැබෑ බොදු ශ්‍රාවක මග උන් වහන්සේලා ගොස්, රටේ ජනතාව ආගමික වශයෙන් දියුණු කලේ නම් මෙරටට විනාශකාරී නායකයන් බිහි නොවේ. බෙදුණු රාජ්‍යයක්ද බිහි නොවේ. එබැවින් උන් වහන්සේලා කල යුත්තේ හොරුන් රකිම නොව, රටට යහපත් පුරවැසියන් බිහිකිරීමේ ආගමික මග යාමට ගමක්, ගමක් පුරා, නගරයක් නගරයක් පුරා සිටින ජනතාව යහපත් මගට ගැනීමට කටයුතු කිරීමයි.

එය එසේ නොකර මහනායක හිමිවරුන්ද දේශපාලන නායකයනට දොස් තැබීමෙන් පලක් නැත. දියවඩන නිළමේවරයා වුවද කල යුත්තේ එම යහපත් මාර්ගයට ජනතාව පෙළ ගැස්වීමයි. නිලම්වරුන්ගේ සහ මහනායකවරුන්ගේ කර්තව්‍ය විය යුත්තේ එයයි. එය එසේ වන්නේ නම් යහපත් රටක් බිහි කිරීම අභෝයෝගයක් නොවේ.

Exit mobile version