ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් දියවඩන නිලමේවරයාට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලු අස්ගිරි පාර්ශ්වයේ වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි අස්ගිරි සංඝ සභාවට අද කැඳවීය. ඒ අනුව එහිදී තීරණය කරමින් මින් ඉදිරියට දියවඩන නිලමේවරයාට එරෙහිව ලිපි ලිවීමත්, ප්‍රකාශ නිකුත් කිරීමත් තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබේ.
මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි යනු මෙරට පුරවැසියෙකි. පුරවැසියෙකු ලෙස තමන්ට හිමි අයිතිවාසිකම් උන් වහන්සේට අහිමි කිරීමට සංඝ සභාවකට නීතිමය බලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දී තිබෙන බවක් අප නම් දන්නේ නැත. විශේෂයෙන් අපරාධයක් කල බවට විශ්වාස කරන විට, එයට එරෙහිව පැමිණිලි කිරීම, කතා කිරීම, එය වලක්වා ගැනීම පුරවැසි වගකීමකි. එය අපරාධ නඩු විධාන සංග්‍රහය පෙන්වා දී තිබේ. එවන් දෙයක් සිදුකිරීම තැනක් කිරීමට හැකි අනවශ්‍ය නීතිවිරෝදී බලයක් ආරෝපණය කරගැනීමට හැකි නීතිමය බලයක් අප දන්නා තරමින් සංඝ සභාවලට ලබා දී නොමැත.
ඒ අනුව මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිට නීතිවිරෝදී බලපෑමක් සිදුකිරීමට අස්ගිරි සංඝ සභාව කටයුතු කර තිබේ. අප ඉහතින් සදහන්කල ආකාරයේ සුවිශේෂී බලයක් පාර්ලිමේන්තුව මගින් ලබා දී නොමැතිනම්, මෙම ප්රජාතන්ත්ර විරෝදී නියෝගය ලබාදුන් සංඝ සභාවේ සියලුම අයට අපරාධ නඩු පැවරිය යුතුය. මෙම සිද්ධියට එරෙහිව අපරාධ නඩු පැවරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය ඉඩ ලබා දී තිබෙන්නේ උන්වහන්සේගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය අහිමි කිරීම, අයුතු අවහිරය, අයුතු බලපෑම, වරදක් වසන් කිරීමට බල කිරීම, රජයට එරෙහිව මහජන විරුද්ධත්වය ඇතිකිරීම, අනාගතයේ මහජන සාමය නැති කිරීම, අනාගතයේ මහජන කැරැල්ලක් ඇතිවීමට ඉඩ සැලසීම, එහි 290අ, 291ආ , බලහත්කාරය, සාපරාධි බලහත්කාරය ආදී වගන්තිවලිනි. ඒ අනුව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකල යුතු බව නීතිය වුවත්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ දුබලයාට පමණි. නමුත් සමස්ත බෞද්ධ ජනතාවම නැගී සිටීම යම් දිනයක සිදුව වුවහොත් එදිනට අසගිරි, මල්වති සංඝ සභාවන් පමණක් නොවේ දියවඩන නිලමේ වරයාද දුබල චරිත බවට පත් වේ.
මහජනතාවට කන්න, බොන්න, අදින්න, පළදින්න නැතිව හා දුක් විදින විට බුදුන් වහන්සේ පිඩිත, අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට උනේ එය සැබෑ බෞද්ධ දර්ශනය බැවිනි. උන් වහන්සේ ලොවට හදුන්වා දුන් එම බුදු දහම අද වන විට ලෝකයාට අහිමි වෙමින් පවතින්නේ අප දන්නා නාමික භික්ෂූන් නිසාය.
කෙසේ නමුත් සංඝයා වහන්සේලාද මෙරට පවතින නීතියට යටත් වේ. අනෙකුත් සංඝ සභාවල් සියල්ලම පවතින්නේ මෙරට පවතින නීතියට පහලිනි. බුදු දහමේ අපට උගන්වන්නේ මනුසත්කම, නිදහස් නිවහල්කම, අවිහිංසාවාදය ඇතුළු අද්විතීය ගුණාංගයන් ය. එවන් වූ උත්තරීතර දහමේ නාමයෙන් පෙනී සිටිනා යම් බෞද්ධ භික්ෂුවක් හෝ බෞද්ධ භික්ෂූන් සභාවකින් ආණ්ඩුක්‍රම නීතියට අනුව තිබෙන භාෂණයේ, සහ ප්රකාශනයේ නිදහස යම් පුද්ගලයෙක්ට හෝ කණ්ඩායමකට අහිමි කරන්නේ නම් ඔවුන් මෙරට පවතින නීතියට අනුව ජිවත් වන්නෝ නොවෙති.
බුදු දහම වනසන්නේ අන්‍යාගමික උදවිය නොවේ. මෙරට සමහර නාමික භික්ෂුන් විසින්ම බවට ගත හැකි හොඳම උදාහරණයද මෙය වේ. මෙරට නීතිමය පැවැත්ම වනසන්නේ ද මෙරට එවැනිම නාමික භික්ෂූන් විසින්ම බවට ගත හැකි හොදම උදාහරණයද මෙය වේ.