ශ්‍රී ලංකාවට දසතින් ආහාර ලැබෙමින් තිබෙන්නේ ලක්ෂ 66 ක් පමණ වන ජනතාවක් එක වේලක් ආහාර ගෙන අනෙක් ආහාර වේල සොයන්නේ කෙසේද යන්න පීඩා විඳින බැවිනි. දුප්පතුන්ට බෙදා දීමට දෙන විදේශීය සහල් ඇතුළු අමුද්‍රව්‍ය රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් පිල්ලි ගසන්නේ නම් ඔවුන් හිටුවා පස් ගසා රාජ්‍ය සේවයෙන් පලවා හරිය යුතුය .
දුප්පත් මිනිසුන් වෙනුවෙන් විදේශ ආධාර ලෙස ලබා දුන් සහල් තම පුතාගේ මගුල් ගෙදරට දීම, පුතාගේ පාටියක් සදහා සමෘද්ධි ලාභින්ගෙන් රුපියල් 100 බැගින් එකතුකරමින් සමෘද්ධි බැංකු නිලධාරීන්ට පාටියක් දීම ( මුදැල් එකතු කර තිබෙන්නේ දානයක් බව පවසමිනි ), කොරෝනා සමයේ රජයෙන් ලබා දුන් රුපියල් 5000 ක් පමණ වන මුදල ඔවුන්ට ලබා නොදීම සහ දරුවන් ලැබුණු විට හෝ ලැබීමට පෙර රජයෙන් ලබා දෙන යම් මුදලක් ඔවුන්ට ලබා නොදීමේ පුවතක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොඨිඨාශයේ මුත්තෙටුපොල සහ ගල්පාය ග්‍රාම නිලධාරි වසම් වල මෙම සිද්ධිය සිදුව තිබේ. ඩිංගිරි නැමති නමකින් හදුන්වන රාජ්‍ය නිලධාරිනියක් මෙය සිදුකර තිබෙන බව අපට ලැබී තිබෙන වීඩියෝ මගින් සනාත වේ. වාර්තා වන ආකාරයට හොර අත්සන් මගින් එසේ වංචා කිරීම් කර තිබේ. එසේ නම් දීර්ඝ විමර්ශනයක් මගින් මෙය අනාවරණය කර ගැනීමට සිදුවනු ඇත. තොරතුරු ලබා දුනහොත් සමෘද්ධි සහනධාරය කප්පාදු කරන බවට අහිංසක සමෘද්ධිලාභින්ට තර්ජනය කර තිබේ. එසේම එම විවාහ මංගල උත්සවය තිබු දිනම කවුරුන් හෝ කල පැමිණිල්ලක් මත යම් විමර්ශන කණ්ඩායමක්ද එහි ගොස් තිබෙන නමුත් ඔවුන් “මඟුල් ගෙදරින් කා බී” සප්පායම් වී පැමිණ තිබේ.
එසේම රන්වල නැමති ග්‍රාම සේවා වසමකද සුදුසු පුද්ගලයන් හට මෙම සහල් ලබා දී නැති අතර වකුගඩු රෝගී සමෘද්ධි සහනාධාරය ලැබෙන පවුලකටද එය ලැබී නැත.
මෙම සිද්ධිය තුලින් අප වෙත ලැබී තිබෙන වාචික සාක්ෂිවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත නොවීම, ජනරජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම, රාජ්‍ය මුදල් සාවධ්‍ය ලෙස පරිහරණය කිරීම සහ එසේ කිරීමට ඉඩ හරිම, රජයේ සම්පත් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ ඉඩ හරිම, රජය අයිතිවාසිකම් වලට හානිවන ලෙස කටයුතු කිරීම, රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම, කූට ලේඛන සැකසීම යනාදී චෝදනාවන් බලු බැල්මටම දක්නට තිබේ. ඒ පිලිබඳව නිසි විමර්ශනයක් කරමින් තව දුරටත් සාක්ෂි සෙවිය යුතුය. නමුත් එම කාන්තාව රාජකාරියේ යෙදී සිටියදී පරීක්ෂණයක් සිදුකරන්නේ නම් සත්‍ය අනාවරණය නොවනු ඇත. ඇය තම දේශපාලන හයිය මත අහිංසක ජනතාවට තර්ජනය කරන බව අප සටහන් කර තිබේ.
ආයතන සංග්‍රහයේ ll පරිච්ඡේදයේ 31 වැනි ජේදයට අනුව ඉහතින් සඳහන් කල වැරදි දක්නට ලැබෙන අතර ආයතන සංග්‍රහයේ 31:5:1 සහ 31:5;2 යන වගන්තීන් වලට අනුව වහාම වැඩ තහනම් කර විමර්ශනයක් ආරම්භ කිරීමට විනය බලධාරියාට නීතියෙන්ම බලය ලැබී තිබේ. අප විසින් නිසි විමර්ශනයක් සිදුකරමින් මෙම කරුණු අනාවරණය කළා සේ ඇය රාජ්‍ය සේවයෙන් පලවා හැරීමට නිසි විමර්ශනයක් කිරීම නිසි විනය බලධාරියාගේ රාජකාරිය වේ. ඔහු ජනතාව වෙනුවෙන් යහපත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන විශාල මෙහෙයක් වනු ඇත.