දුසිල්වත් චීවරධාරීන්ට ඉදිරියේදී සිදුවන දේ.

වර්තමානය වන විට රටට ,සමාජයට බිහිව සිටින දුසිල්වත් භික්ෂූන් මහත් පිළිලයක්ව ඇත.

අද භික්ෂු ශාසනය තුළ සිටින බොහෝ භික්ෂූන් දුසිල්වත් මෙන්ම ශාසනය තුළ රැඳී සිටිමින් විවිධ ව්‍යාපාර කටයුතුවලද යෙදී සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව ඇත.

එම කාරක සභාවේ දී එවැනි ක්‍රියා හේතුවෙන් ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් එම කටයුතු නවතාලීමට අමාත්‍යංශය කඩිනමින් මැදිහත් වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමුව ඇත.

ඒ අනුව කාරක සභාවේ දී යෝජනාවී ඇත්තේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඉදිරිපත්වන චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යංශයේ සම්බන්ධීකරණය තුළින් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකයේ නාහිමිවරුන් දැනුවත් කිරීමටත් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමටයි.

බුද්ධශාසන අමාත්‍යවරයා වැඩිදුරටත් එහි දී සඳහන් කළේ ඉදිරියේ දී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනස් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල  සහිත නව පනතක් හදුන්වාදීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී  ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කර ඇත.

බොහෝ අවස්ථාවලදී අද සමාජයේ දක්නට ලැබෙන්නේ භික්ෂුන් වහන්සේලා නොවන අතර චීවර ධාරීන් පිරිසක් පමණි.ඔවුන් චීවරය දරමින් එතුළින් කළ හැකි සියලු ජඩ වැඩ කරනු ලබයි.

සියල්ල අත්හරිමින් සියල්ලෙහි පවතින අනිත්‍ය වටහාගෙන ලොවට ධර්මය අවබෝධ කරදුන් බුදුන් වහන්සේගේ මාවතේ ගමන් කළ යුතු මෙම භික්ෂු පිරිස අද චීවරය දරනු ලබන්නේ කාම ලෝකයට පවතින ඇල්ම නිසාවෙනි.

ඉතා සුලු පිරිසක් බුද්ධ ශාසනය රකිමින් සීලයේ සිටිය ද ඊටත් වඩා වැඩි පිරිසක් සිදු කරන්නේ චීවරයේ සිටිමින් ධනය බලය ඉපයීමට පොර කෑමයි.

Exit mobile version