සමූපකාර තොග වෙළද සංස්ථාව නොහොත් සතොස යනු මෑත ඉතිහාසයේ සුදු ළූණු වංචාව, සීනි වංචාව, මිල අධික තඹ යකඩ විකිණීම, ආයතනයේ පැරණි වාහන විකිණීම, සෝපාන සදහා අධික මිලක් ගෙවීම ආදී දූෂණ ගණනාවක් පිළිබදව හඬ පට වලින්ම අසා දැන ගැනීමට ලෝක වාසි ජනතාවට වාසනාව ලැබුණු අතර මේවාට අමතරව ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ වංචා සහ දූෂණ ගණනාවකින් පිරුණු ආයතනවලින් එකක් වන්නේ සතොසයි. එය ශ්‍රී ලංකාව පුරාම එසේය.
කෙසේ හෝ මේ වංචා දූෂණ හොර මගඩි අස්සේ සතොස ආයතනය තුල සිදු වූ බව කියවෙන වංචාවක් පිළිබඳව හඬ පටයක් නිකුත් වීමත් සමගම විධිමත් පරීක්ෂණයක් සදහා සතොස සභාපතිවරයාගේ වැඩ තහනම් කරන ලදී. නමුත් එම තහනම පනවා තිබෙන්නේ අමත්‍යවරයා විසින් වන අතර පත් කිරීම කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසිනි.
එසේ තිබියදී අද (15) මොහු බලහත්කාරයෙන් තම කාර්යාලය වෙත පැමිණ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක්ද පවත්වා තිබේ. ඊටත් වඩා භයානක තත්වය නම් ඔහු අද පැමිණ තිබෙන්නේ කොවිඩ් රෝගයද පවතිද්දී බව තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුට කොවිඩ් රෝගය වලදී ඇත්තේ පසුගිය 11 වැනිදා බවද සදහන් වේ. නිරෝදාන නීතියට අනුව දින 7 ක් නිවසින් පිටවීමට නොහැක.
මේ සියල්ලෝම මහජන සේවකයන්ය. මහජන මුදලින් වැටුප් ලබමින්, මහජන මුදලින් වාහන සහ ඉන්ධන වියදම් මෙන්ම දුරකථන බිල් පවා ගෙවාගෙන තම දු දරුවන් ට ඒවාද කෑමට දෙමින්, තවත් මදිව වංචා සහ දූෂණ කරමින් මහජන දේපල මංකොල්ල කන රාජ්‍ය නිලදාරීන් බහුතරයක් සිටින රාජ්‍යක වැසියන්ට සාමකාමී පැවැත්මක් කිසි සේත්ම අපේක්ෂා කල නොහැක. මේ සියල්ලටම වඩා කණගාටුදායක කරුණ නම් ඔහු නීතීඥවරයෙකු වීමයි. අධිකරණ කටයුතුවලදී අධිකරනයට සහාය ලබා දෙන නීතිවේදියෙකුගෙන් මෙවන් සිද්ධියක් බලාපරොත්තු විය හැකිද? මේ පිළිබදව කෙරෙන නීතිමය විග්‍රහයක් පහතින් දැක්වේ.
රාවණා සටහන
වංචා සහ දූෂණයක් සිදු වූ විට ජනාධිපතිවරයා කල පත්වීමක් අවලංගු කල නොහැකිද?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙසේ සභාපතිවරු පත් කලද අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල නිසි බලදාරියා වන්නේ සහ වගකිව යුත්තා වන්නේ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා වේ. ආයතන සංග්‍රහයට අනුව කුමන අයුරකින් හෝ රජයෙන් වැටුපක් ලබන්නේ නම් ඔහු රාජ්‍ය සේවකයෙකු වේ. එසේම ආයතන සංග්‍රහයේ පළමු පරිච්චේදයේ අර්ථ නිරූපන වලට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පුද්ගලයන් රාජ්‍ය සේවකයන් නොවන බවටද සදහන් කර නැත. රාජ්‍ය නිලදාරීන් ලෙසට පිළිනොගත්ත ද රජයෙන් වැටුප් ලබන්නෝ රාජ්‍ය සේවකයන්ය. ඒ අනුව සතොස සභාපතිවරයා ආයතන සංග්‍රහය යටතට ගැනෙන රාජ්‍ය සේවකයෙක් වන අතර අමාත්‍යාංශ ලේකම් යටතේ සිටින රාජ්‍ය සේවකයෙකි. ඒ අනුව නිසි විනය බලදාරියා විය යුත්තේ අමාත්‍යාංශ ලේඛම් වේ.
එසේ වුවත් ආයතන සංග්‍රහයේ II වෙනි කාණ්ඩයේ XLVIII වන පරිච්චේදයේ 1:1:5 වැනි පරිච්චේදයට අනුව අදාළ අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයා වේ. එයට අනුව “ අමාත්‍යාංශ ලේකම්වරුන් හැර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නිලධරයන් භාරයේ පවත්නා කාර්යාල සම්බන්ධයෙන් වන කල්හි ‘ අදාළ අමාත්‍යවරයා’ යන්නෙන් අදහස් කරන්නේ ජනාධිපතිවරයා වේ” ලෙස සදහන් වේ. එසේ බලන විට සතොස ආයතනයේ සභාපති සිටින්නේ ජනාධිපති යටතේ වන අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යටතේ හෝ රේඛීය අමාත්‍යංශ ලේඛම් යටතේ නොවේ. එසේ වුවත් එහිම, 1:1:8 ට අනුව සභාපතිගේ කාර්යාලය හා සම්බන්ධ වන විට එහි ප්‍රධානියා වන්නේ අමාත්‍යාංශ ලේඛම් වේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කලද රාජ්‍ය සේවකයෙකු ලෙස වංචා දූෂණ සහ අක්‍රමිතා සිදු කර තිබේ නම් සභාපතිවරයාට විරුද්ධව කටයුතු කල යුතු නිසි විනය බලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේඛ්මය. එසේම සතොස යටතේ සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීමටත් ඒ ආයතන සදහා වගකීමටත් වෙළද අමාත්‍යංශ ලේඛම් නීතියෙන්ම බැදී සිටි. ඒ සදහා ඔහුට බලය ලැබෙන්නේ ආයතන සංග්‍රහයේ 3:1 වගන්තිය මගිනි.
එසේම ජනාධිපතිවරයා විසින් පත් කලද ආයතන සංග්‍රහයේ XLVIII පරිච්චේදයේ 31: 1 වගන්තියේ ඇති විධි විධාන මත සහ 31:5:1 වගන්තිය පවතින විධි විධාන මතද සභාපතිවරයා වැඩ තහනමට ලක් කිරීමට රේඛීය අමාත්‍යංශ ලේඛම්වරයාට බලය තිබේ. එම පරීක්ෂණය තිබියදීම පොදු නීතිය යටතේ ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර එසේ නොකිරීම පිළිබඳවද අමාත්‍යාංශ ලේකම්වරයාද ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 112, 174, 199 ආදී වගන්ති වලින් චෝදනා ලැබීමට සුදුස්සෙකි. එසේම ඔහු එසේ චෝදනා ලැබිය යුතුමය.
එසේම අද සිදු වූ ක්‍රියාව නිසාද අදාළ හිටපු සභාපතිවරයාට විරුද්ධව අපරාද චෝදනා රාශියක් යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුය. විශේෂයෙන්ම එහි 183 වගන්තිය පැහැදිලිවම උල්ලංඝණ කර තිබෙන අතර එයින් අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මේ වන විටත් මහජන අප්‍රසාධය එල්ල වෙමින් පවතින බැවින් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 118, 119, 120, යන වගන්තීන් වලින් කියවෙන වැරදිද ඇතුළුව තවත් වැරදි රාශියක් අද දිනය තුල පමණක් සිදු කර තිබේ.
එබැවින් අපගේ නීත්‍යානුකූල දැක්ම නම්, නීතියක් නොරකින මිනිසුන් පාලකයන් ලෙස පත් කිරීමෙන් රජයට හෝ ජනාධිපතිට හෝ රාජ්‍යයට සිදුවන හානිය සුළු පටු නොවේ. රටේ බොහෝ ස්ථාන වල සිදු වන මෙවැනි තර්ජනාත්මක නීති විරෝදී ක්‍රියාවන්වලට තිත නොතබන තාක් කල් මෙරට සශ්‍රීක දේශයක් නම් නොවන බව පැහැදිලිය.