දේශබන්දුට ඇතුළු කණ්ඩායමට එරෙහිව පරීක්ෂණ මේ සතියේ

පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව මේ සතියේ විනය පරීක්ෂණ ආරම්භ කරනු ඇත.

ආයතන සංග්‍රහය යටතේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ජාතික පොලිස් කොමිසමට තීන්දුවේ පිටපතක් නීතිපතිවරයා හරහා නිල වශයෙන් ලැබුණු විට බව මූලාශ්‍රයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

අදාළ පුද්ගලයා 2011 දී අත්අඩංගුවට ගැනීමෙන් පසු වධ හිංසාවලට ලක්වන විට වර්තමාන වැඩබලන පොලිස්පතිවරයා සහ නඩුවේ නම් කර ඇති අනෙක් අය නුගේගොඩ කොට්ඨාසය භාරව සිට තිබේ.

“ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත් කරනවා. මෙම කරුණු සෙවීමේ මෙහෙයුම ඉන් අනතුරුව සිද්ධිය විමර්ශනය කර එහි නිර්දේශ ඉදිරිපත් කරනු ඇති” යැයි මූලාශ්‍රය පවසා ඇත.

මූලික පරීක්ෂණයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ප්‍රමාණවත් හේතු සොයා ගතහොත්, විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කර චූදිතයාට චෝදනා පත්‍ර ඉදිරිපත් කෙරේ. මූලාශ්‍රය අනුව මෙම පරීක්ෂණයෙන් පසු විනය ක්‍රියාමාර්ග ඇත්නම් ඒවා ගනු ලැබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය වැඩබලන පොලිස්පති තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට, විශ්‍රාමික හමුදා නිලධාරියාට අදාළ පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවීමට නියම කළ අතර, ඊට අමතරව නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පොලිස් කොමිසමට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට නියෝග කළේය.(ceylonwire)

Exit mobile version