දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා. දුරකතන වාර්තා ගන්න නියෝග.

රටේ නම ගිය අපරාධකාරයන්ගේ ලැයිස්තුවට අලුතින්ම එක් වන අපරාධකාරයන් වාර්තා වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ය. එය ඔවුන්ගේද වරදක් නොවේ. කාලාන්තරයක් තිස්සේ මෙරට පාලනය කල දූෂිතයන් විසින් අපට ලබා දී තිබෙන දායාදයේ ප්‍රතිපලයකි. ඊ ලග පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්වනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තුව සිටියත් පාස්කු සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව බොහෝ විට ඔහුට එම මාර්ගය මගහරිනු ඇත.

එසේම එම සිද්ධියේම තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන ගංජා සමග හසු වූ SSP සිසිරද දැන් වැඩ තහනම්ය. ඒ අතර ජනතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන, නමුත් පොදුජන පෙරමුණ පොලිස්පති කිරීමට සැරසෙන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට චරිතයක් වී නමුත් පක්ෂ විපක්ෂ බේදයකින් තොරවම සාමාන්‍ය ජනතාව ඔහුට ඇත්තේ දැඩි අප්‍රසාධයකි. ඔහු ඉල්ලන් කන්නේ  ගාලුමුවදොරට පහර දීමත් සමගය. එය ඔහු සිදුකරගත් දැවැන්ත අපරාධයක් වන අතර ඔහු පොලිස්පති කිරීමට උත්සාහ කිරීම සියලුම ප්‍රජාවන් එකට එකතුව විරෝධය පෑමක් සිදුවීමට තරම් ප්‍රභල විරෝධයක් පැන නැගීමට ඉඩ තිබේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්ධිරයෙන් පලායාමත් සමගම ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බලපෑම් කිරීම ගැන අප එදිනම වාර්තා කරන ලදී. එම බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වෂයෙන් තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත්, දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවතියි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතියි බියෙන් පසුවන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය සම්බන්ධයෙන් තමා සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේම මෙය සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙසට පොලිස්පති දැනුම් දුන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකට දැනුම් දුන්නේය. ඊට විරෝධය පළ කළ නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත්ය. එලෙස පොලිස්පතිවරයාට විමර්ශන වෙනත් අංශයකට බාර දීමට සිදු වන්නේ විශේෂ විමර්ශන ඒකකට නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදු කරන නිසා එලෙස වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී රුපියල් එක්කෝටි ඇත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඒවා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දී තිබේ. එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට කියා තිබිණි.

එලෙස බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොටුව පොලිසිය මෙම මුදල් සොයා දුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වයි.

(මෙම කරුණු සියල්ලම අප විසින්ම තහවුරුකරගෙන නොමැති බවත් සමාජ මාධ්‍ය මගින් සමහර කරුණු ලබා ගත් බවත් කාරුණිකව සටහන් කරමි. කෙස් එනමුත් මුදල් සිද්ධිය සත්‍ය සිදුවීමකි)

Exit mobile version