ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් අරගලයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට හමුව ඇත. එම මුදල ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියාට භාරදීමට එම විශ්ව විද්‍යාල සිසුන් පියවර ගෙන තිබේ.
එහෙත් එම මුදල එම නිළධාරියා භාර නොගෙන ඒ බව කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව සාගර ලියනගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් හමුවූ ස්ථානය වීඩියෝගතකර සිසුන් 05 දෙනෙකුගේ ප්‍රකාශද සටහන්කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.
එම මුදල් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියදී අතුරුදන්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසියේම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දෙමින් පවසා ඇත්තේ එම මුදල් පිළිබද කිසිදු සටහනක් පොලිස්පොත්වල නොතබා වහාම හෙට උදෑසන වන විට පොලීසිය භාර ඇමතිවරයාට භාරදෙන ලෙසය.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ප්රතික්ෂේපකර ඇති අතර “තමුසේ මම කියපු දේ කරනවා“ යැයි එහිදී දේශබන්දු තෙන්නකෝන් විසින් පවසා ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විිසින් තමාට කථාකර මෙවන් බලපෑමක් කළ බවට පොලිස් සටහනක් තබා ඒ බව පොලිස් මූලස්ථානයට දැනුවත් කිරීමට කොටුව පොලිස් ස්ථානාධිපතිතුමා කටයුතු කර ඇත. පොලිස්පතිවරයාගෙන් විමසීමකින් තොරව එම මුදල් කිසිදු පිටස්තර පාර්ශවයක් වෙත පත් නොකරන ලෙස එහිදී පොලිස් මූලස්ථානයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලැබී තිබේ.
හිමාල් ඒකනායක – මහරගම