“නයි මිරිස් කෑ ASP ගෙන්” සල්ලි ඉල්ලුව රාළහාමිට විනය පරීක්ෂණයක් සහ ස්ථාන මාරුවක්

සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්, ලබා ගන්නා ලද නයි මිරිස් කිලෝග්‍රෑම් දෙකක් සදහා රුපියල් 3200ක මුදලක් ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් යොදා ස්ථාන මාරු කළ පුවතක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඇඹිලිපිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරවරයෙකු වන පොලිස් අධිකාරි සනත් කුමාර නැමැති හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට මෙම දූෂිත චෝදනාව එල්ලව තිබේ. මෙම සිදුවීමට මුහුණ දුන් පොලිස් නිලධාරියා ලබා දී ඇති ප්‍රකාශයක අවසානයේ සදහන් වන්නේ “ASP මහත්තයට කියන්න මම ගෙනත් දුන්න නයි මිරිස් කිලෝ දෙකේ සල්ලි දෙන්න කියලා” ලෙස බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

අපගේ ඇඹිලිපිටිය ප්‍රදේශය භාර මාණ්ඩලික වාර්තාකරු විසින් මේ පිළිබඳව දීර්ඝ නමුත් කෙටිකාලීනව සිදු කරන ලද ගවේෂණයේදී අණාවරණය කරගෙන තිබෙන්නේ , අදාළ පොලිස් නිලධාරින් විසින් සහකාර පොලිස් අධිකාරිවරයාට නයි මිරිස් කිලෝග්‍රෑම් දෙක ලබා දෙන බව දුටු පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු සිටින බවයි. ඊට අමතරව තවත් වටිනා සාක්ෂි කිහිපයක් ලබාගැනීමට කටයුතු යොදා ඇති අතර ඒවා ලබා ගැනීමෙන් අනතුරුව පැහැදිලිව දක්නට තිබෙන්නේ සහකාර පොලිස් අධිකාරිවරයා තම මහජන තනතුර පොලිස් නිලධාරින්ගෙන් පලි ගැනීම උදෙසා භාවිතා කරන බවයි.

එසේම මෙම සහකාර පොලිස් අධිකාරිවරයාට තවත් චෝදනා රැසක් එල්ලව තිබෙන අතර ලබන වර්ෂයේ විශ්‍රාම යාමටද නියමිතව සිටී.

එසේම ප්‍රදේශයේ පතලක් ඇල්ලූ නිලධාරියෙකුට එරෙහිවද විනය පරීක්ෂණ යොදා ස්ථාන මාරුකර යවා තිබේ. තවද ප්‍රදේශයේ ධනපති ව්‍යාපාරිකයෙකුට අයත් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව ලෝඩ් එකක්ද මුදා හැරීමටද සහකාර පොලිස් අධිකාරිවරයා නීතිවිරෝදී අණක් ලබා දී තිබේ. එසේම එම තේක්ක සහිත ලොරිය මුදා හැරීම පිළිබඳව තවත් පොලිස් නිලධාරියෙකු තම සටහන් පොතේ යම් සටහනක් යොදා තිබේ. එම සිද්ධියටද අල්ලස් චෝදනාවක් යොදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථානමාරුවීම් ලබා දී තිබේ. ඔවුන්ටද චෝදනා විභාග කිරීම සදහා මුලික පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳව අප තව දුරටත් සොයා බැලීමේදී වාර්තා වූයේ මෙම සිද්ධියට මුහුණ දී තිබෙන පොලිස් නිලධාරියා අපහාසයක් කළ බවට ASP කාර්යාලයේ සියලුම දෙනා සාක්ෂි ලබා දී තිබෙන බවයි. එම අපහාසය කල බව සදහන් වන්නේ සහකාර පොලිස් අධිකාරිවරයාටය. නමුත් නීතියට අනුව එම සාක්ෂියන් පිළි නොගන්නේ ඒවා ස්වාධීන සාක්ෂි නොවන බැවිනි.පොලිස් අධිකාරවරය⁣ා යටතේ සේවය කරන නිලධාරීන් ලබාදෙන දෙන සාක්ෂි නීතිය ඉදිරියේ පිලිනොගනී.

කෙසේ නමුත් මෙම “නයි මිරිස් සිද්ධිය” පිළිබඳව අල්ලස් හෝ දූෂණ ,වංචා,විමර්ශන කොමිෂන් සභාවටද පැමිණිලි කර තිබෙන බවටද අපට තොරතුරු ලැබී තිබේ. එසේම “නයි මිරිස්” ලබා ගත් බවට සාක්ෂි තිබෙන අතර සහකාර පොලිස් අධිකාරවරයා එයට අදාළ මුදල් ලබා දුන් බවට සාක්ෂි සොයා ගැනීමට අප අපොහොසත් විය.

කෙසේ නමුත් අපට හමුව තිබෙන බොහෝ උසස් පොලිස් නිලධාරින් දැඩි දූෂිතයන් ය.ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුව තුල පමණක් නොව රටටම අපරාධකරුවන් බිහිකරමින් සිටී. පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහකාර පොලිස් අධිකාරී තනතුරු පිරිනමන විටම අප වාර්තා කලේ එය නුසුදුසු බවයි. එම ලිපියේ අප හේතුද දක්වන ලදී. රාජකාරිය හෝ මනුෂ්‍යත්වයට ඉඩ නොදෙන, දේශපාලන බලවතුන්ට කත් ඇද, උසස්වීම් ලබනා පොලිස් නිලධාරීන් සැබැ පොලිස් නිලධාරීන් නොවන බවද අප පෙන්වා දී තිබේ.

එසේම මෙසේ පීඩාවට ලක්වන පොලිස් පොඩ්ඩන්ද අනාගතයේ සිදුකරනුයේ ඒ ආකාරයෙන්ම දුෂිත කටයුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි දුෂිතයන් පලවා නොහරින තාක් පොලිස් දෙපාර්තමේන්තුවට කීර්ති නාමයක් අත් නොවේ. තනතුර දී තිබෙන්නේ යහපත් රටක් ගොඩනැගීමට විනා, රට විනාශ කිරීමට නොවන බව වටහා නොගන්නා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට වෙනමම පරීක්ෂණ මණ්ඩල හෝ ඇති කළ යුතුය.

Exit mobile version