නාකොටික් එක අද කුඩුකාරයන්ගේ තිප්පොලක් වෙලා -කුලියට මිනිසුන් මරණවාද යන්න සැකයක්.

ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ නොමනා ක්‍රියාකලාප හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන පුද්ගලයන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී.මේ පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ පෙරේරා මහතා සහ එහි ලේකම් සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකදී බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.

නීතිඥ පෙරේරා මහතා සදහන් කරන්නේ සමන්ත ප්‍රීති කුමාර නැමැති පුද්ගලයා යහළුවෙකු සමඟ ආහාර ගෙන එමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි නාකොටික් එකේ පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම ඉන් පසු ප්‍රශ්න කිරීමක් සදහා DR විජේවර්ධන මාවත අසල පිහිටි බැරැක්කය අසල තිබෙන භූමියේ අත්හැර දැමූ ගොඩනැගිල්ලක් වෙත ගෙන ගිය සමන්ත කුමාරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරින් හත් දෙනෙකු එක්ව අමානුෂික ලෙස පහරදුන් බවට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එදිනම එනම් 2023 /01/10 දින උදෑසන 7.30 ට පමණ ජාතික රෝහල වෙත ඔහු රැගෙන යන විටත් මියගොස් සිටි බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූ බවට පවසා සිටී.

එසේම මෙලෙස ඔහුට පහර දී ඇත්තේ මාංචු දමා රැගෙන යන විට නිලධාරියෙකුට වීදුරු බෝතලයකින් පහර දීමට උත්සාහ කළ නිසා යැයි පැවසුවත් මාංචු දමා සිටියදී එලෙස සිදු කළ නොහැකි බවට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අධිකරණ වාර්තාවට අනුව ප්‍රචණ්ඩකාරී ලෙස මෙම අනතුර සිදු වී ඇති බවත් හිසේ සිට පාදාන්තය දක්වා තුවාල 49ක් තිබූ බවත් ඉන් හිස පිටුපස පෙදෙසේ අගල් දෙකක පමණ විශාල තුවාලයක් තිබූ බවද ප්‍රකාශ කර තිබේ.

එසේම මෙහිදී විශාල තුවාල සිදු වී තිබියදීත් අපරාධය සිදු වූ ස්ථානයේ ලේ බින්දුවක් හෝ නොමැති වීම හේතුවෙන් මාළිගාවත්ත මහේස්ත්‍රාත් තුමියට අපරාධය සිදු වූ ස්ථානය නොව ව්‍යාජ ස්ථානයක් පෙන්වූවායැයි යම් සැකයක් ඇති වූ බවද පවසා සිටී.

එමෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ සාක්ෂි කැදවන අවස්ථාවේ පොලිසිය පෞද්ගලික නීතිඥයන් ඉදිරිපත් කළ බවත් සමන්ත කුමාර අත්අඩංගුවට ගැනීමේ සිටම වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළ බවත් පවසා සිටී.

මෙහිදී,
යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට පොලිස් උපසේවයට භාර දිය යුතු වුවත් එසේ භාරදීමක් සිදු නොවූ බවත්,
පොලිස් බැරැක්වලට නොව මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට භාර දිය යුතු බවත්,
බේස්ලන්ට් ,මුද්ද නඩු භාණ්ඩ කළ යුතු බවත් පුද්ගලයන් සන්තකයේ තියාගත නොහැකි බවත් පවසා සිටී.

ඒ අනුව සමන්ත කුමාරගේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් රැගෙන නොසිටි බවට අනාවරණය වූ බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය කුලියට මිනිසුන් මරන්නේද යන්න සැකයක් ඇති බවත් පවසා තිබේ.

එමෙන්ම ,
මත්ද්‍රව්‍ය කාර්‍යාංශය යනු මුදලට කටයුතු කරන,
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය නැවත විකුණන,
කුඩු මුදලාලින්ගේ මුදල් සංසරණය වන ස්ථානයක් බවත් ,
මෙහි නිලධාරින් බොහෝ කල් සිට සේවය කරන බවත්,
මෙහිදී හරක්කටාගේ නඩුවේ PR එකත් අතුරුදහන් වූ බවත් පවසා සිටී.

ඒ අනුව “අපරාධ සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී නිදහසෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම” මොවුන්ගේ අරමුණ වුවත් පොලිසිය තුළම ප්‍රචණ්ඩත්වය ක්‍රියාවට නැංවෙන බවත් මේවා බෝඩ් කෑලි වලට පමණක් සීමා නොවී මහ පොළොවේ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද? යන්න සැලකිලිමත් විය යුතු බවට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය කියන නිලධාරින් තමා හදාගත් නීතියකින් පොලිස් ආඥා පනත ,අනෙකුත් නීති ,අපරාධ නඩු සංග්‍රහය පැත්තකට පයින් ගසා ඔවුන්ගේ හිතුවක්කාරකමට තමන් හදාගත් ක්‍රමවේදයක් ඔස්සේ අමානුෂික ලෙස මෙම මරණය සිදු කළ බවට පවසා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version