නායයාම් රතු නිවේදන නිකුත් කෙරේ…සියලුදෙනා අවධානයෙන් පසුවීම වැදගත්.

අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද එම සංවිධානය පියවර ගෙන ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ සහ බද්දේගම, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කහවත්ත, කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාහ සඳහා දෙවැනි මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් මේ වන විටත් නිකුත් කර ඇත.

දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය අගෝස්තු මස 30 වන දා සිට තද වැසි ඇදහැලෙමින් පවතී.

වර්ෂාවත් සමග කලු ගඟ රත්නපුරයෙන්, මඟුරු ගඟ මගුර ප්‍රදේශයෙන්, කුඩා ගඟ මිල්ලකන්දෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය හමුවේ සියලු දෙනා දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වන අතර පෙර සුදානම ඕනෑම අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට අවස්ථාව සලසයි.

Exit mobile version