ඊයේ (17) පස්වරුවේ ගල්ගමුව හා මහව ආශ්රිත ප්‍රදේශවල සැරිසරමින් සිටි දෑස් නොපෙනෙන ‘දසේ’ නම් වන අලියා මියගොස් තිබේ.
වාර්තා වන ආකාරයට ප්‍රදේශවාසීන් පවසන්නේ, නිරෝගී ව සිටි වන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා වනජීවී නිලධාරීන් නිර්වින්දනය කර දින 05කට පසු ව සත්ත්වයා මියගිය බවත් ‘දසේ’ හෙවත් ‘කරපටියා’ නම් වයස අවුරුදු 55ක් පමණ වන එම වන අලියා, දෑස් පෙනීමේ පවතින දුර්වලතාවක් හේතුවෙන් ගල්ගමුව හා මහව ප්‍රදේශවල ගම්මාන ආශ්රිත ව වැඩි වශයෙන් සැරිසරමින් සිට තිබේ.
අනතුරු ව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ, එය අනතුරුදායක බැවින් සත්ත්වයා ව වෙනත් ස්ථානයකට යොමුකරන ලෙසයි.
ඒ අනුව පසුගිය සඳුදා දින වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්, මහව වනජීවී නිලධාරීන් සමඟ එක් ව ඇබෝගම ප්‍රදේශයේ දී සත්ත්වයා අල්ලා නිර්වින්දය කර ඇත්තේ, හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සඳහායි.
නමුත් නිර්වින්දනය කිරීමෙන් පසු ව අලියා ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල වී ඇති අතර, දින 05ක පමණ කාලයක් එම ස්ථානයේ ඇද වැටී සිටි බවත් වනජීවි නිලධාරීන් අලියාට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් අතර, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එම ස්ථානයට වැඩම කර සත්ත්වයාට සුවපතා පිරිස් සජ්ඣායනාවක් ද සිදු කර තිබේ.
නමුත් ඊයේ පස්වරුවේ දසේ නම් මෙම වන අලියා අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණු අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, වනජීවී නිලධාරීන් ගේ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම දසේ ගේ මරණයට හේතු වී ඇති බවයි.
මේ අතර, මින්නේරිය යුද හමුදා කඳවුරු පරිශ්‍රය අසල පිහිටා තිබෙන මින්නේරිය දුම්රිය මාර්ග රක්ෂිතය ආසන්නයට කඩුල්ල රක්ෂිතයේ සිට ඊයේ පස්වරුවේ විශාල අලි රංචුවක් පැමිණ අතර ඒ කවුඩුල්ල රක්ෂිතයේ සිට මින්නේරිය රක්ෂිතය දක්වා ගමන් කරන අතරතුරය.
සියයකට ආසන්න වන අලි රංචුව කුඩා පැටවුන් ගෙන් මෙන්ම ඇතුන්ගෙන් ද සමන්විත ව තිබුණු අතර මෙම වන අලි රංචුව දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණි බව සඳහන් වේ.
කෙසේ වෙතත් වන අලි රංචුව දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී සිදු විය හැකි අනතුරු වැළැක්වීම සහ ප්‍රදේශවාසීන්ට සිදු විය හැකි අනතුරු වැළැක්වීම සඳහා වන අලි රංචුව නැවත අලි වෙඩි දමා කවුඩුල්ල වන රක්ෂිතය වෙත පලවා හැරීමට කටයුතු කරනු ලැබ තිබේ.