නිදහස් උත්සවයේ පෙළපාලියවත් හරියට සැලසුම් කරගන්න බැරි ආරක්ෂක හමුදා සහ රාජ්‍ය පරිපාලන ලොක්කෝ.

ශ්‍රී ලංකාව කෙතරම් බංකොලොත් රාජ්‍යයක් වුවත්, අපටත් යමක කල හැකි බව පෙන්වීමට මෙන්ම, ලෝකයේ අවධානය වෙනුවෙන් නිදහස් උත්සවය කල යුතුමය. එය නොකිරීම යනු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම, විදෙස් ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට පවා ගැටළු සහගත තත්වයන්වලට මුහුණ දීමට සිදු වේ. එපමණක්ද නොව, විදේශගත වෙළදාමේදී අප රට තුට්ටු දෙකට වැටෙන තත්වයකට මුහුණදීමට සිදු වේ. එබැවින්, අප ඩොලර් අතින් හෝ වෙනත් දේ වලින් දුප්පත් වුවත්, රටක් ලෙස කල යුතු ජාතික වැඩසටහන් කල යුතුය.

අප රට බංකොලොත් වුවත්, ශක්තිමත් ජාතියක් බවට පෙන්වීමට තිබෙන සුවිශේෂීම අවස්ථාව වන්නේ ජාතික නිදහස් උත්සවයයි. එය නිවැරදිව, සහ සංවිධානාත්මකව කල යුතුය. නමුත් මෙරට ආරක්ෂක හමුදා නායකයන්ට හෝ එය එය සංවිධානය කල කමිටුවට කිසිදු සැලසුමක් නැති බව අනාවරණය වන්නේ  ඊයේ සිදු වූ මතභේදාත්මක සිදු වීමයි.

ජාතික නිදහස් උත්සවයේ ඊයේ (31) පැවැති පෙරහුරුවේදී ඇතිවූ මතභේදාත්මක සිද්ධියක් නිසා එම පෙරහුරුවට එක්ව සිටි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ සියලු ඒකක පුහුණුවීම්වලින් ඉවත්වීමට තරම් ජාතික උත්සවයේ සංවිධායකයන් මාරි මිදයන් වී ඇත.

සාම්ප්‍රදායානුකූලව නිදහස් උළෙලට ජනාධිපතිවරයා පැමිණෙන රථය දෙපස ගමන් ගන්නා පොලිස් අශ්වාරෝහකයන් ඉවත් කර යුද හමුදා යතුරුපැදි ඒකකය ඊට යෙදවීම නිසා ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තත්ත්වය ඇතිවූ බව විවිධ වාර්තා පෙන්වා දුන්නේය.

පසුව මේ සම්බන්ධයෙන් නිදහස් උත්සවයේ සංවිධායක කමිටුව සාකච්ඡා කිරීමෙන් පසුව එකඟතාවකට පැමිණ නැවත පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ සියලු ඒකක නිදහස් උළෙලේ පෙරහුරුව සඳහා එක්වී තිබේ.

නිදහස් උත්සවයේ පෙළපාලිය සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, යතුරුපැදි ඒකක, අශ්වාරෝහක බළකාය, තුර්යවාදක කණ්ඩායම් සහ විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරක ඒකක සහභාගි වේ.

එහිදී පෙළපාලියට එක්ව සිටි පොලිස් නිලධාරීන් විශේෂ කාර්ය බළකාය, තූර්යවාදක කණ්ඩායම්, අශ්වාරෝහකයන් ඇතුළු පොලිසිය නියෝජනය කළ සියලු නිලධාරීහු ඉවත්ව තිබේ.

රටක ජාතික උත්සවයක්වත් සංවිධානය කිරීමට නොහැකි දුෂිත, අමනෝඥ රාජ්‍ය නිලධාරීන් රටේ ප්‍රධානීන් වී සිටින්නේ නම්, රටේ හෙට දවස තව දුරටත් බිඳවැටිම නැවැත්වීමට නොහැකි වනු ඇත. ඉන් කියවෙන්නේ හැකි ඉක්මනින් දක්ෂ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් අපට අවශ්‍යව තිබෙන බවයි.

Exit mobile version