නිපා වෛරසය නිසා ඌරු මස් පරිභෝජනය අඩු වෙලා.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක මේ දිනවල පැතිර යමින් තිබෙන නිපා වෛරසය හේතුවෙන් මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණපා සිටින බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

නිපා වෛරස අවදානම පිළිබඳව අදහස් පළ කළ පශු සම්පත් අංශයේ නිලධාරීන් එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් අවධාරණය කර තිබේ.

නිපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි (Zoonotic) රෝග තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක, ශරීර තරල සහ මළමුත්‍රා මඟින් මිනිසුන්ට බෝවීමට හැකියාව ඇත.

එසේ වුවද මේ වනවිට මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ විසින් රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා අප රටට නිපා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Exit mobile version