නිවස තුළ ඇත්තේ ගෑස් එකක් ද? බෝම්බයක් ද? (වීඩියෝ)

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම ගෑස් කාන්දු වීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් පිළිබඳව කිහිප විටකදීම අසන්නට දකින්නට ලැබුණු අතර මේ පිළිබඳව පසුගිය දිනක පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්ඡාවක දී හෙළිදරව් කිරීමක් කර තිබුණි.

එම සාක්ච්ඡාව සඳහා හිටපු රසායනාගාර ප්‍රධානි, ඛනිජ තෙල් පිළිබඳ උපදේශක සිරිල් සුදුවැල්ල මහතා ද එක්ව සිටි අතර එහි දී මෙම පිපිරීම් සඳහා හේතු වූ ගෑස් කාන්දු වීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කිහිපයක් සිදුකරනු ලබයි.

විශේෂයෙන් ඔවුන් එහි දී පෙන්වා දෙන්නේ ගෑස් සිලින්ඩරයක් තුළ පවත්නා ගෑස් සංයුතියේ යම් වෙනසක් මේ වන විට සිදු කර ඇති බවට හෙළි වන අතර මේ හේතුවෙන් මෙලෙස ගෑස් කාන්දුවීම් සිදුවන බවයි.

ගෑස් සිලින්ඩරයක් තුළ පැවතිය යුතු සාමාන්‍ය සංයුතිය වන්නේ බියුටේන් 70% – 80% සහ ප්‍රොපේන් 20% – 30% යන සංයුතිය වන නමුත් මේ වන විට එම සංයුතිය වෙනස් කරමින් 50% – 50% සංයුතියක් මෙම ගෑස් සිලින්ඩරය තුළට ඇතුළත් කර ඇති බවයි.

එහි දී මෙම ප්‍රොපේන් 50% ක් දක්වා ඉහළ නැංවීම තුළින් ගෑස් සිලින්ඩරය තුළ පවතින පීඩනය විශාල වශයෙන් ඉහළ නංවන අතර මේ හේතුවෙන් බොහෝ විට ගෑස් කාංදුවක් සිදුවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සොයා බලා පරීක්ෂණ සිදුකර නිසි පියවර ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා විසින් ඔහු සේවයේ නිරතව සිටින කාලයේ දී අමාත්‍යවරුන්ට සහ අදාළ බලධාරීන්ට දැනුම් දුන්න ද මේ වන තෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි ඔවුන් අවධාරණය ‌කළේ.

මිනිස් ජීවිත සෙල්ලමකට ගනිමින් මොවුන් මෙලෙස සිදු කරන වංචනික ක්‍රියාවන් දැන දැනත් නොදන්නා ලෙස ඇස් කන් පියන් බලා සිටින බලධාරීන් රටකට කුමකට ද?

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ පිළිබඳ පරීක්ෂණ වහාම ආරම්භ කිරීමට මොවුන්ගේ නෙත් සිත් යොමුවේවා කියා පතනවා හැර මෙම ගෑස් පරිභෝජනය කරමින් ජිවිත අවදානමකට ලක්ව සිටින අප කුමක් කරන්නද.

Exit mobile version