අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසා ඇත්තේ , කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග දරුවන් සම්බන්ධයෙන් Silent hypoxia නමැති ඉතා බරපතල තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
මෙම රෝගී තත්ත්වය නිහඬ මාරයෙකු ලෙස හැඳින් වූ වෛද්‍ය නලින් කිතුල්වල මහතා සඳහන් කර සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන්ට මෙම රෝගී තත්ත්වය මතුවන බවයි.
රෝගී තත්ත්වයෙන් පසුව සුව අතට පත් වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේ දී හෝ සෙල්ලම් කිරීමේ දී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්ත්වයේ ස්වභාවය බවයි ඔහු ප්‍රකාශ කළේ.
මෙම රෝගී තත්ත්වයේ ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේ දී හුස්මගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේ දී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමයි.
මේ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙණ දරුවන්ගේ දවසට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය දැන බැලිය යුතු වන අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩු නම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩු නම් වහාම එම දරුවා රෝහල්ගත කළයුතු බව ද ඔහු අවධාරණය කළේ ය.
ඇල්ෆා ප්‍රභේදයේ දී දරුවන්ට කොරෝනා ආසාදනය වුව ද රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළ ද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝග ලක්ෂණ මතු වීම වැඩි වී තිබේ.
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබන ප්‍රමාණය අඩු වුව ද, දැඩි සත්කාර අවශ්‍ය දරුවන් වැඩි වී ඇත
එලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන දරුවන් ප්‍රමාණය අඩු වී ඇත්තේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීමේ තීරණය සමග වන අතර එම වැඩසටහන සාර්ථක බව ද වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේ ය.
එසේම, වයස 12ත් 18ත් අතර දරුවන්ට ලබාදීමට හැකි මොඩර්නා හා ෆයිසර් එන්නත් ලැබෙන ආකාරය අනුව දරුවන්ට ලබා දීමට හැකි වනු ඇති බවත්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැනටමත් මේ පිළිබදව සාකච්ඡා පවත්වමින් තිබෙන අතර එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා හා නිධන්ගත රෝග පවතින දරුවන්ට ප්‍රමුඛතාවය දෙලබා දීමට ද තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.