නීතිය ඉගෙන ගමු. පාඩම් අංක 03 . ( වීඩියෝ සහිතයි )

යුතුකම් සහ වගකීම්.

Obligations and Responsibilities.

පවුලක් ලෙස , ආයතනයක් ලෙස යුතුකම් සහ වගකීම් ඇති වන හැටි සහ ඒවා ඉටුකළ යුතු ආකාරය වැඩිහිටියන්  මනාව තේරුම් ගෙන තිබෙනවා. නමුත් බහුතරයකගේ ඒවා වැරදි ලෙසද තවත් කොටසක් නිවැරදි ලෙසද ඉටු කරයි . තම තමන්ගේ අත් දැකීම් වලට අනුව බොහෝ  අය කටයුතු කරන අතර තවත් සමහරු ඒවායේ හරි වැරැද්ද මනාව වටහාගෙන නිවැරදිම යුතුකම සහ වගකීම ඉටු කරති.  බොහෝ දේ තේරුම් ගත් දෙමාපියන් සහ වැඩිහිටියන් අනාගත යහපත් පැවැත්ම වෙනුවෙන් හරි දේ හරි ලෙස සිදු කිරීමට කනිෂ්ඨයන්ට උගන්වති. දෙමාපියන් දරුවන්ට ඒවා කියා දෙති. වර්තමාන ශ්‍රී ලාංකික ජන සමාජය තුල නම් නිසිලෙසම යුතුකම් සහ වගකීම් ඉටු කරන පිරිස්  සීඝ්‍ර ලෙස අඩු වෙමින් පවතී.

මේවා කොහොම උවත් යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේදී ඒවා කඩවීම් සාමාන්‍යයෙන් දෛනිකවම පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. බොහෝ දෛනික සිදු වීම් වල නීතිමය පැවැත්මක් ඇති නොකරයි. නමුත් පවුල් ආරවුල් වලදී සමහර වගකීම් ඉටු නොකිරීම නිසා නෛතික පැවැත්මක් උත්පාදනය වනවා. ඒවා මොනවාද යන්න නීති අණ පනත් සමගම ඉදිරි පාඩම් වලදී කතා කරනවා.  මෙහිදී අප ඒ සදහා ආරම්භයක් ලබා ගැනීම සිදු කරනවා.

අප සමාජය ඇසුරු කිරීමේදී පවුල් පවුල් අතර හෝ සාමුහිකව ජීවත් වීමේදී පවුලක් තුල ජීවත් වනවාට වඩා පුළුල් සහ සංකීර්ණ බවක් ඇති කරනවා. ඒවා සමහර විට යම් විධානයකට, අණකට , ආඥාවකට යටත්ව ක්‍රියාත්මක වේ.

අතීත මිනිසා ගෝත්‍රික නායකයන්ගේ අණසකට යටත්ව , එම අණ මගින් තම යටත් පිරිසේ යුතුකම හා වගකීම ඉටුවීම සොයා බලන ලදී. එසේ යුතුකම් සහ වගකීම් සහ වගකීම් දරමින් වර්තමාන ලෝකය දක්වාම පැමිණි මිනිස් සංහතිය ක්‍රමිකව, යම් නීතියකට, රීතියකට අනුව ජීවත් වීමට හුරු පුරුද්දක් ඇතිව තිබෙන බව සිතා ගත හැකිය. අද අපද අපගේ දරුවන් , මෙන්ම අපට හමු වන අනෙකුත් දරුවන්ද ක්‍රමිකව යම් යම් නීතියකට , රීතියකට අනුව ජීවත් වීම සදහා හුරු පුරුදු කරන්නා සේ අතීත මිනිස් ජනයාද එසේ කල බවට අපට උපකල්පනය කල හැකිය.

සමාජයක යහපත් පැවැත්ම පවතින්නේ යුතුකම් සහ වගකීම්  මගිනි.  අප සියලු දෙනාම විවිධ යුතුකම් සහ වගකීම් ඉටු කිරීම සදහා බැදී සිටිනවා. මව් පිය දු දරු සබඳතා, ගුරු සිසු සබඳතා, ස්වාමි භාර්‍යා සබඳතා, හිත මිතුරු සබඳතා, සේව්‍ය සේවක සබඳතා, පූජක පක්ෂය සහ අනුගාමික සබඳතා , මැති ඇමති සහ සියලු ජනතා සබඳතා, ජනාධිපති සහ පුරවැසි සබඳතා ආදී ලෙස විවිධ කොටස් ගණනාවකින් මේ සබඳතා බෙදිය හැකිය. විවිධ ආගම වල මෙම සබඳතා විවිධ අයුරින් උගන්වනවා. මේ අකාරයේ වූ විවිධ සබඳතා මත විවිධ ප්‍රබල බැදීම් සහිත අන්‍යෝන්‍ය සබඳතා ඇති වන විට යුතුකම් සහ වගකීම් ද ජනිත වනවා. සමාජ ගත වීමත් සමග ඇති වන බාරදූරත්වය මත මේවා තව තවත් වැඩි වී නෛතික බැදීම්ද ඇති වීම දක්වා ගමන් කරයි. ගෝත්‍රික සමාජය තුල සිටි මිනිසා සීමිත අවශ්‍යතා මත සීමිත නීතිමය බැදීම් සහිතව ජීවත්ව ඇති බව පෙනේ. නමුත් දහසක් අවශ්‍යතා මත , අසීමිත නීතිමය බැදීම් තුල වර්තමාන ලෝක ප්‍රජාව හිර වී තිබේ. ශ්‍රී ලංකාව තුල නම් මේ තත්වය බිදී යමින් පවතී. ශ්‍රී ලංකාව තුල ප්‍රජාව නීතිමය අතින් විවිධ අනවශ්‍ය දේ සදහාද බැදී තිබෙන අතර නීතිය තිබුනත් නීතිය ක්‍රියාත්මක නොවීම මත ප්‍රබල පාර්ශ්වයන් විසින් ජනතාව හිර කර තිබේ.

නැගී එන ලෝක ප්‍රජාවන් ලෙස සහ ගෝලීය පුරවැසියෙකු ලෙස ගත් විට සියලු දෙනාටම සදාචාරාත්මක , දේශපාලන සහ ආර්ථික වගකීම් රාශියක් ඉටු කිරීමට බැදී සිටින අතර උදෑසන අවදි වූ වේලේ සිට නින්දට යාම දක්වා දිනෙන් දින වැඩි වන වගකීම් රාශියකට මුහුණ දීමට අපට සිදුව තිබේ. එය අප සියලු දෙනාම එක්ව කල යුතුව් තිබේ. මෙසේ නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස අද ශ්‍රී ලංකාව සෑම අතකින්ම බිද වැටෙමින් තිබේ.

අතීතය සහ වාර්තමානය දෙස බලන විට අවශ්‍යතා වැඩි වන විට එම අවශ්‍යතා වලට සරිලන ලෙස විවිධ ක්‍රමෝපායන් නීති, රීතීන් වලට බැදී සිරවීමට මිනිසාට සිදුව තිබේ. එසේ නොවුනොත් විවිධ ගැටලුවලට තනි තනිවමත් සාමූහිකවත් මුහුණ දීමට අපට සිදු වන අතර , එම  ගැටළු ඇති නොවීමට ඒ ඒ කාරණා සඳහා ඒ ඒ නීති පද්ධතීන් තුල සිට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ජීවිතය තුල ඇති වූ අවශ්‍යතා මතය.

අතීතයට වඩා විධිමත් ලෙස වර්තමාන නීතිපද්ධතීන් සැකසී ඇති අතර විවිධ අවශ්‍යතා මත , ඒවා ඉටු කර ගැනීම සදහා අවශ්‍ය විවිධ නීති සමාජ ගත වී තිබේ. ඒවා අතර ආණ්ඩුක්‍රම  නීතීන්, අපරාධ නීති, සිවිල් නීතීන් සමග ගිවිසුම් නීතිය, දේපල නීතිය, දිලික්ත නීතිය, පරිපාලන නීතිය, ආදී වශයෙන් වර්ග කොට දැක්වෙන්නේ විවිධ සමාජ අවශ්‍යතා මත ඇති වූ නීති මාලාවන්ය.

මේවා තවත් පුළුල් වෙමින් විශ්ව ගම්මානය යන සංකල්පය සමග දේශීය නීතිවලට අමතරව ගෝලීය වශයෙන් පවරන නීති රීති වලටද යටත්ව මානව සංහතිය තුල ඇතිවන ගැටුම් වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම නීතිවලට යටත්ව, ඒවාට ගරු කරමින් ජීවත් වීමට සිදුව තිබේ. එසේ නොකිරීමේ ප්‍රතිපලය අද ලෝකවාසීන් භුක්ති විදිමින් සිටිති.

Exit mobile version