නීතිය ඉගෙන ගමු
පාඩම් අංක 04
රෝම අධිරාජ්‍යයෙන් උපන් නීතීන්
Roman Empire and Law
රෝමය යනු වර්තමාන ඉතාලියේ අගනගරයයි. වර්තමාන ලෝවැසි සියලු දෙනා හට විශිෂ්ඨ නීති පද්ධතියක් සකසා දුන් රෝමයේ අතීතය ගැන මදක් ඉගෙන ගැනීම නීතිය පිලිබදව මෙන්ම සමාජයට ආදරය කරන බොහෝ දෙනෙකුට වැදගත් විය හැකිය.
රෝමය සොයා ගැනුමේ පුරාණෝක්තියට අනුව ක්‍රි.පූ. 753 අප්‍රේල් 21 දින එනියස්ගෙන් පැවත එන ට්‍රොජානු කුමරු සහ ඇල්බා ලොන්ගාහි නුම්තෝර් නම් ලතින් රජුගේ මුණුපුරන් වූ රෝමියුලස් සහ රීමස් නම් නිවුන් සොහොයුරන් විසිනි.
මරණයට කැප වී සිටි මේ නිවුන් සොහොයුරන් හොර රහසේ ජීවත් කරවා ඇත්තේ එඬේරෙකුගේ බිරිඳක් විසිනි. ඔවුන්ගේ මව වන්නේ රියා සිල්වියා වන අතර අඟහරු නම් වූ රෝමානු යුද්ධයට අධිපති දෙවියන් විසින් රියා සිල්වියා දූෂණය කොට නිශේචනය කරන ලද බැවින් මේ දෙදෙනා අඩක් දිව්‍ය බවට සැලකේ.
උස් මහත් වූ පසු මේ දෙසොහොයුරන් විසින් ඔවුන්ගේම නගරය වන රෝමය ගොඩ නගා ඇති අතර පිහිටුම් ස්ථානය ගැන හෝ නාමය පිලිබදව ඇති වූ මත ගැටුමක් නිසා, රොමියුලස් විසින් රීමස් මරා දැමු බව කියා වේ. මේ සදහා විවිධ මූලාශ්‍ර වල විවිධ විස්තර සදහන් වේ. ගමනාගමනයට හා වෙළදාමට මධ්‍යස්ථානයක් වූ ටයිබ්ර් ගංගාව අසබඩ නැව් තොටක් සමගින් ගොඩ නැගුනු ජනාවාස මතින් රෝමය නැගී ආවේය. පුරාවිද්‍යාත්මක සැකසී අනුව ක්‍රි. පු. 8 වන සියවසේ මෙය බිහි වී තිබේ. එසේ වුවද ඉතාලියේ ලති ගෝත්‍රය විසින් පැලන්ටීන් කන්ද මුදුනේ මෙය බිහිකලා වියහැකි බවටද අනුමාන කල හැකිය.
කලින් කලට ගොඩ නැගුනු මේ මහා ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන රෝමන්වරුන් පසු කාලීනව සංකීර්ණ රාජ්‍යක් සහ නීති පද්ධතියක් සකසාගෙන තිබේ. අද ජීවත් වන අපට නීති සහ රාජ්‍ය පිලිබඳව ඇති නීති පද්ධති සහ අදහස් බොහොමයක් පැමිණ ඇත්තේ පුරාණ රෝමයෙනි.
පොත පතට අනුව රෝමන්වරුන් තුන් ආකාරයකින් ලෝකය ආක්‍රමණය කර තිබේ.
1. අධිරාජ්‍ය ගොඩනගමින් ලෝකය ආක්‍රමණය කිරීම.
2. ආගම ප්‍රචලිත කරමින් ආගමික චින්තනය මිනිස් සමාජ හා ගැට ගසමින් ලෝකය ආක්‍රමණය කිරීම
3. නීතිය සමස්ත ලෝකයා වෙත බෙදා හදා දෙමින් ලෝකය ආක්‍රමණය කිරීම ( දායාදයක් ලෙස ලබා දෙමින් )
රෝමය විවිධ අයුරින් නීති සකස් කරන ලදී. රෝම නීතිය ඉතා පැරණි මෙන්ම අංග සම්පූර්ණ නීති පද්ධතියකි. එසේම පැරණි මෙන්ම ඉතාම පැරණි යම් තරමක් හෝ අංග සම්පූර්ණ නීති පද්ධතියක් තිබුනේ නම් ඒ රෝම නීතියයි. ග්‍රීක සහ රෝම ඉතිහාසය දෙස බලන විට ග්‍රීකයන් කලාවට දක්ෂ වුවා සේම රෝමානුවන් නීතියට විශේෂ උනන්දුවක් දක්වා තිබේ.
රෝම ඉතිහාසය දෙස බලන විට වරින් වර විවිධ නීති පනවා තිබෙන අතර එක් කාලයක රෝම ජනරජයේ ඉහලම නිලධාරියෙකු ලෙස ප්‍රීටර් නම් නිලධාරියෙකු පත් කර තිබේ. නගරයේ නීති රීති පවත්වා ගැනීම සදහා රෝමානුවන්ට පොලිස් බලකායක් සිටි අතර එය නම් කර තිබුනේ විජිල්ස් යන නමිනි.
සොරුන් හා පලාගිය වහලුන් වැනි සුළු අපරාධකරුවන් සමග විජීල්ස් කටයුතු කල අතර කැරලි කෝලාහල වලදී හෝ කල්ලිවලට එරෙහිව මෙන්ම වැඩි බලයක් අවශ්‍ය වූ විට ප්‍රීටෝරියානු ආරක්ෂක හමුදාව සහ නාගරික හමුදා කණ්ඩායම් භාවිතා කර තිබේ.
රෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙස බලන විට රෝම රජය අනුගමය කරන ලද මූලධර්ම සමූහයක් සහිතව එය නිර්මාණය කර තිබේ. එය එක තැනක ලියා නැති නමුත් සම්ප්‍රදාය සහ තනි නීති මගින් ස්ථාපනය කර තිබෙන බව දක්නට තිබේ.
එකල තිබූ බොහෝ නීති රීති ලිඛිතව හෝ ජනතාවට දැක ගත නොහැකි විය. එබැවින් රාජ්‍ය නිලධාරීන් බොහෝ සෙයින් දූෂණයට පෙළඹී තිබිණි. මට මේ සටහන ලියද්දි දැනෙන්නෙම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය. මේ වන විට වංචා සහ දූෂණ ශ්‍රී ලංකාව තුල ඉතාම භයානක ලෙස ක්‍රියාත්මක වෙනවා. එකල රෝමය තුල සිටි රාජ්‍ය නිලධාරීන් එම නීතින් වලට පටහැනිව ක්‍රියාත්මක වීම නිසා, රෝම ජනතාව අවසානයේ නායකයන්ට විරුද්ධව කැරලි ගැසූහ. එබැවින් ක්‍රි. පූ . 450 දී පමණ සෑම කෙනෙකුටම දැක බලා ගත හැකි ලෙස සමහර නීති ගල් පුවරු මත ලියා ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය ඉතාම ඉක්මනින් වෙනස් නොවුණහොත් අනිවාර්යෙන්ම රෝමයේ සිදු වූ ආකාරයෙන්ම කැරලි කෝලාහල ඇති වී පාලකයන්ට පහර දෙනු ඇත. එකල රෝම නීතිය යටතේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ලැබුනේ රෝම පුරවැසියන්ට පමණි. පූර්ණ රෝම වැසියෙකු එකල විශාල ගනුදෙනුවකි. රෝම පුරවැසිභාවයේ විවිධ මට්ටම් තිබුණි. රෝමයේ සිර ගෙවල් තිබුනද සියලුම දෙනාට එක හා සමාන දඩුවම් නොලැබුණි. දඩුවම් තීරණය කෙරුනේ තරාතිරමේ හැටියටය. ඔබ එකල රෝමයේ සිටි ධනවත් ධනවත් දේශප්‍රේමියෙකු ලෙස , ඔබෙන් යම් අපරාධයක් සිදු උනි නම් ඔබට ලැබෙන දඩුවම , වහලෙකු කරනු ලැබූ අපරාධයට ලැබෙන දඩුවමට වඩා අඩුය. මේ ලිපිය කියවන ඔබට හැකියි, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අකාරය පිලිබදව අධ්‍යනය කරන්න. ධනවතුන්ට , ධනවතුන් වන අපරාධකරුවන්ට, දූෂිතයන්ට දඩුවම් නැති රාජ්‍යක් සහ ඉතා දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවට පමණක් නීතිය ක්‍රියාත්මක වන රාජ්‍යක් ඔබට හදුනා ගත හැකිය. නීතිය සගවා කටයුතු කිරීම, විවිධ තරාතිරම් වල හැටියට නඩු පැවරීම, නඩු ඉවත් කර ගැනීම, විවිධ උසස් යැයි සම්මත පුද්ගලයන්ගේ දරුවන් පවා පිස්සු නටන , නීතිය ක්‍රියාත්මක නොවන රාජ්‍යක් ඔබට හදුනා ගත හැකිය. නීති පොත නියම ලෙසම සකසා තිබුනත් විවිධ මාෆියා කල්ලි ලෙසින් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලදාරීන් සහ පොලිස් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකරන බව ඉතාම හොදින් දක්නට තිබේ. එකල රෝමයේදී දඩුවම් ලෙස රෝමයෙන් පිටුවහල් කිරීම දඩ මුදල් හෝ මරණය පවා එකල රෝමය තුල දඩුවම් ලෙස ක්‍රියාත්මක විය. සාමාන්‍යයෙන් රෝමන්වරුන් අපරාධ කරන ලද මිනිසුන් සිරගත කලේ නැත. දඩුවම් ලබා දෙන තෙක් රඳවා තබා ගැනීම සදහා සිර ගෙවල් තිබුණි. අතීත රෝම නීතිය මගින් රෝමයට උරුම වූ රෝම නීතියේ සහ රෝම ව්‍යවස්ථාවේ බොහෝ දේ අදටත් භාවිතා වේ. නිෂේද බලය, බලතල වෙන් කිරීම, කාලීන සීමාවන් සහ නිත්‍ය මැතිවරණ වැනි සංකල්ප මෙයට ඇතුලත්ය. මෙම සංකල්ප වර්තමාන නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල පදනම් ලෙස එම රටවල ජනතාවට විශාල සේවයක් සපයයි.
ඉතිහාසයට අනුව රාජ යුගය, සමූහාණ්ඩු යුගය, සහ අධිරාජ්‍ය යුගය වසයෙන් යුග තුනක් පසුකරමින් රෝමය ශක්තිමත්ව නැගී තිබෙන බව පෙනේ. රෝම නීතිය තුල සිත් ගන්නා සුළු කරුණුද තිබේ. ව්‍යවස්ථාදායක එක් රැස් වීම් නොහොත් ජනතාවගේ ශාඛාව , සහ කොන්සල්වරුන් නොහොත් විධායක ශාඛාව ඇතුළු රජයේ ශාඛා තුනක් ස්ථාපනය වී තිබුණි. රෝම කාන්තාවන්ට පුරවැසියන් ලෙස සීමිත අයිතිවාසිකම් තිබුණි. ඔවුන්ට ජන්දය දීමට හෝ රජයේ නිලතල දැරීමට රජයේ නිලතල දැරීමට නොහැකි වූ නමුත් ඔවුන්ට දේපල ලබා ගැනීමට හා ව්‍යාපාර කිරීමට හැකි විය. ක්‍රි.ව. 212 දී අධිරාජ්‍යා වූ කැරකැල්ලගේ පාලන සමයේදී, රෝම අධිරාජයයේ සිටි සියලු නිදහස් වැසියන්ට රෝම පුරවැසිභාවය ලබාදුන් අතර රෝම කාන්තාවන්ට සියලු අයිතිවාසිකම් ලබා දෙන ලදී.
ඉහත සදහන් කල රාජ යුගය, සමූහාණ්ඩු යුගයෙන් පසුව අවසාන යුගය වූ අධිරාජ්‍ය යුගයේ ප්‍රතාපවත්ම අධිරාජ්‍යා වුයේ ජස්ටීනියන්ය. ඔහු අධිරාජ්‍යයෙකු මෙන්ම විශිෂ්ඨ නීතිවේදියෙකු ද විය. ජස්ටීනියන් රෝමන්වරුන්ට පමණක් නොව සමස්ථ ලෝකයටම සිදු කල සේවාව නම් විශිෂ්ටය. එකල රෝමය තුල විසිරී පැවති නීති මූලයන් එක්කොට සම්පූර්ණ නීති සංග්‍රහයක් බිහි කර ඔහු එය ලෝකයාට දායාද කරන ලදී. එකල සිටි අනෙකුත් නීතිවේදීන්ගේද සහය ලබා ගත් ඔහු නීති ප්‍රබන්ධ රාශියක් එලි දක්වා ඇත. ඔහි එලි දැක්වූ සියලු නීති සංග්‍රහයන් එකතු කර නව නීති සංග්‍රහයක් බිහිකළ අතර එය ජස්ටීනියන් නීති සංග්‍රහය ලෙස හදුන්වනු ලැබීය.
ජස්ටීනියන්ගේ කාලය වන විට රෝමය තුල පැවති බොහෝ සිරිත් නීතීන් බවට පත්ව තිබිණි. ඔහුගේ මූලාශ්‍ර පහත සදහන් ලෙස වර්ග කල හැකිය.
- නීතිය හෙවත් ලෙගිසි. ( Leges)
- ජනමත විමසුම් හෙවත් පෙබ්ස්තා ( Plebiscitum)
- මහේස්ත්‍රාත්වරුන්ගේ ආඥා හෙවත් ඊඩික්ටා මැජේස්රාටේටුම්
- රෝම සෙනෙට් මණ්ඩලයේ ආඥා හෙවත් සෙනෙට් කොන්සොල්ටා
- නීති විමර්ශකයන්ගේ පිළිතුරු හෙවත් රෙස්පොන්සා පුරුෙඩන්ටා
ජස්ටීනියන් රෝම නීතිය ලිඛිත සහ අලිඛිත වශයෙන් කොටස් දෙකකට බෙදු අතර පෙර සිට පැවති නීතිය අලිඛිත නීතිය ලෙස සලකා අනෙකුත් සියල්ල ලිඛිත නීති බවට පත් කර තිබේ.
විවාහ සම්බන්ධයෙන් වන නීති පූර්ණ වශයෙන් ගොඩ නැගී ඇත්තේ සිරිත් ඇසුරිනි. ගිවිසුම් නීතිය , දිලික්ත නීතිය , සාවද්‍යභාවය පිළිබඳ නීතිය, පීඩාව ආදී දෑ සිරිත් මුල් කොටගෙන ඇත.
ලිඛිත නීතියේදී රෝම නීතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදා තිබේ.
1. රාජ්‍ය නීතිය හෙවත් පොදු නීතිය.
අපරාධ නීතිය ,පරිපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මේ යටතට පත් කර ඇත.
2. පුද්ගල නීතිය.
පුද්ගලයා පිළිබඳ නීතිය , බන්ධන පිලිබඳ නීතිය, අනුප්‍රාප්ත පිලිබඳ නීතිය, දේපල පිලිබඳ නීතිය, සහ නඩු විධාන නීතිය ඇතුලත් කර ඇත.
පුරවැසිභාවය රෝමන්වරුන්ට ඉතා වැදගත් වූ අතර සමාජයේ පහලම ස්ථානයේ සිටියේ වහලාය. රෝම සමාජයේ වහලාගේ තත්වය සතෙකුගෙන් වෙනස් වුයේ ස්වල්ප වශයෙනි. වහලාට පෞරුෂයක් හෝ නෛතිකභාවයක් නොතිබූ අතර අයිතිවාසිකම් හා යුතුකම් දැරීමට නොහැකි, අන් අයගේ බලයට යටත් වූ දේපලක් ලෙසද ජස්ටීනියන් විග්‍රහ කර ඇත.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.
උපුටා ගැනීම තහනම්. වෙනත් ස්ථානයන් වල අවසරයකින් තොරව පල කිරීම තහනම් . බුද්ධිමය දේපල යටතේ ලියාපදිංචි කර ඇත.
පාඩමට වීඩියෝ බලන්න