නීති විරෝධී අන්දමින් වාහන පන්දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරලා

නීති විරෝධී අන්දමින් වාහන පන්දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කළැයි චෝදනා එල්ල වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් දස දෙනෙකුට වැඩි පිරිසක් විමර්ශන මගහැර රටින් පැනයාමේ උත්සාහයක නිරතව සිටින බව අනාවරණය වී තිබේ.

මෙම නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ද ඉල්ලුම් කර තිබෙන බවත් වැඩි පිරිසක්ම අත්අඩංගුවට පත්වීමට සිටින නිලධාරීන් බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කළ අතර
රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති, සොරකම් සහ කල්බදු සමාගම් මඟින් ගෙවීම් නොකරන ලද වාහන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කරමින් අසාදු ලේඛන ගතව ඇති වෙනත් වාහන අංක වලට ලියාපදිංචි කරන ජාවාරමක් ගැන පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අනාවරණය කරගෙන තිබේ.

ඒ කඩවත ප්‍රදේශයේ පදිංචි වාහන ව්‍යාපාරිකයෙකු පසුගිය ජුලි 13 වැනිදා මෙම ඒකකයේ නිලධාරීන් විසින් නීති විරෝධී අන්දමින් ලියාපදිංචි කළ ජීප් රථයක් සමගින් අත්අඩංගුවට ගැනීමත් සමගය. අදාළ ව්‍යාපාරිකයාගෙන් ලද තොරතුරුවලට අනුව එවැනි ආකාරයෙන් ලියාපදිංචි කළ වාහන 400ක් ගැන තොරතුරු අනාවරණය වූ අතර ඒ ඔස්සේ කරන ලද විමර්ශනවලට අනුව එවැනි නීති විරෝධී ලියාපදිංචියක් ඇති වාහන 70 ක පමණ සංඛ්‍යාවක් සොයා ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ගැනද තොරතුරු අනාවරණය වී තිබුණු අතර එම නිලධාරීන් විසින් රේගු නිලධාරීන් හා වාහන ව්‍යාපාරිකයන් හා එක්ව මෙම ජාවාරම් කලක පටන් කරගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මේ අතර සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් දරන අධීක්ෂණ නිලධාරියෙකුට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලම ප්‍රධාන පෙළේ හෝටලයක්, ඉංගිරිය තම්බපන්නිය ප්‍රදේශයේ අක්කර භාගයක ඉඩමක පිහිටි හෝටලයක්, පිළියන්දල හා කොළඹ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස දෙකක් ද තිබෙන බවට හෙළි වී ඇති අතර මෙම ජාවාරම්කාර නිලධාරීන් විසින් මෙලෙස නීති විරෝධී අන්දමින් වාහන ලියාපදිංචි කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන අතුරුදන් වූ වාහනවල දත්ත බොහෝමයක් භාවිතා කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කර තිබේ.

මෙලෙස වාහනයක් ලියාපදිංචි කරදීම සඳහා රුපියල් ලක්ෂ දහයේ සිට කෝටියකට අධික මිල ගණන් යටතේ මුදල් ලබාගැණෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සිටින්නේද චෝදනා එල්ල වූ නිලධාරියෙකුගේ ගෝලයෙකු බවද වාර්තා වේ.

එසේම මෙම නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම් පැවරෙන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් තනතුරක් ද ලබාදීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. විදෙස් ගතවීමට සැරසෙන මෙම නිලධාරින් කණ්ඩායම තැරැව්කරුවන් යොදා ගනිමින් මේ දිනවල වැඩි වශයෙන් නීති විරෝධී අන්දමින් වාහන ලියාපදිංචි කිරීම් සිදුකර සිටින බවද වාර්තා වේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් කළ මෙම විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී ඇති අතර එම දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ පරීක්ෂණ සිදුකර සිටියි. මෙම විමර්ශන අතරතුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය කුමාරටද ස්ථාන මාරුවක් ලැබී ඇති බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version